සෙනරත්ගේ නඩුවේ තීන්දුව අගෝස්තු 8 දා ප්‍රකාශයට

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද(09) යලි කැඳවීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිය සහ පැමිණිලි පාර්ශ්වයෙන්  නඩුවට අදාළ ලිඛිත දේශනා භාරදුනී.

ඒවා බාර ගැනීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටීම වැඩිදුර ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන දොළොස් වන දා ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත් කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කළේය.

ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read more

Local News