ඒකාධිපති පවුල්වාදයක් එජාපෙ නැ

Share

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ(08) පස්වරුවේ අරලිගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළේය.

ජනාධිපති අපේක්ෂකයා තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් නම් කර නොතිබීම ප්‍රමාදයක් නේද යනුවෙන් මාධ්‍යවේදීන් විසින් රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් විමසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ඒ පැත්තේ හැමදේටම ඉන්නේ රාජපක්ෂවරු පමණක් බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ, වික්‍රමසිංහලා, ගමගේ ලා, රණවකලා, ජයසූරිය ලා, ප්‍රේමදාසලා ගොඩක් අය සිටින බව ද රංජන් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒකාධිපති පවුල්වාදයක් එජාපෙ නැති බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර, පසුගිය දා මධූෂ් සමඟ සම්බන්ධකම් පැවැත් වු ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ගැන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේය.

එහිදී රංජන් රාමනායක මහතා කියා සිටියේ, මධූෂ් පවසා ඇති ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ  4 දෙනෙක් සහ පොහොට්ටුවේ 3 ක් සිටින බවයි. එනිසා මේ පිළිබඳ සත්‍ය තොරතුරු නිසැකයෙන්ම අනාගතයේ දී හෙළි වෙනු ඇතැයි ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ, විශ්වාසභංගය ජය ගන්නා බවත්, ජනතාවට මේ ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බවත් ය.

පුළුවන් නම් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර පෙන්වන ලෙස ද මන්ත්‍රිවරයා මෙහිදි අභියෝග කර සිටියේය.

Read more

Local News