උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියේ සැකකරු කීත් නොයාර් සිද්ධියේ ද සැකකරු ලෙස නම් කරන්නැයි උපදෙස්

Share

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වන ලලිත් රාජපක්ෂ නමැත්තා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ලිඛිත උපදෙස් රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

නීතිපතිවරයා මෙම ලිඛිත උපදෙස් වලින් දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව එම අපරාධය සම්බන්ධයෙන් ලලිත් රාජපක්ෂ නැමැත්තාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ලලිත් රාජපක්ෂ නමැති සැකකරු කීත් නොයාර් පැහැර ගෙන යාම පිළිබඳ නඩුව විභාග කරන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැකකරු ලෙස නම් කිරීමට පියවර ගන්නා මෙන් ද නීතිපතිවරයා රහස් පොලිසිය වෙත ලබා දී ඇති උපදෙස් වල සඳහන් වෙයි.

Read more

Local News