රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් කරුණු දැක්වීම 11 දා

Share

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුවේය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම සලකා බැලීම සිදු කෙරුණේය.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිසිර ජයකොඩි සහ උදය ගම්මන්පිල යන ඒකාබද්ධධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත මහතා සහ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම සිදුකළ අතර වැඩිදුර කරුණු දැක්වීම අනිද්දාට(11) කල් දැමුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදේශිකයින්ට මෙරට භූමියේ අයිතිය පවරා දීම සඳහා වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත හරහා මෙරට පවතින ඕනෑම ඉඩමක් නිදහසේ විකුණා දැමීමට ජනතාවට අවකාශ සැලසෙන බව පෙන්වා දෙන ඔවුන් එය දැඩි අනතුරුදායක තත්ත්වයක් බව කියා සිටියි.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලු පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ඔවුන් චෝදනා කළේය.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබේ.

Read more

Local News