ධීවර කර්මාන්තය බරපතළ අගාදයකට තල්ලු කිරීමට හිටපු පාලකයින් කටයුතු කරලා

Share

ලංකාවේ ධීවර කර්මාන්තය බරපතළ අගාදයකට තල්ලු කිරීමට හිටපු පාලකයින් කටයුතු කර ඇති බවත් සාගරය සතු සම්පත් පවා පවතින නීති රීතිවලට පයින් ගසා මුදලට විකිණීමට කටයුතු කර ඇති බවත්, මේ නිසාම ධීවරයා වගේම රටේ ජනතාවත් එම පාලකයින්ගේ ගොදුරක් බවට පත්වී සිටි බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන්ට බදු ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව සඳහන් කළේය.

බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයේදී ඊයේ(09) පස්වරුවේ මෙම බදු ඔප්පු ප්‍රදානෝත්සවය පැවැත්විණ.

මෙහිදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ තොග මත්ස්‍ය ව්‍යාපාරිකයින් 135 දෙනෙකු සඳහා බදු ඔප්පු ප්‍රදානය සිදු කෙරිණ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා,

“මේ මහා සාගරය කියන්නේ මහා සම්පතක්. ඒ සම්පත රැකගැනීමට සියළු දෙනා එකට එක්විය යුතුයි. එදා පිටකොටුවේ ශාන්ත ජෝන් මත්ස්‍ය වෙළද පොලේ මගේ පියත් ව්‍යාපාරික කටයුතු වෙලා යෙදිලා හිටියා.

මට මතකයි මමත් මගේ පියා එක්ක මේ මාළු මාර්කට් එකේ වෙලදාම් කල අවදිය. 1965 ලංකා ධීවර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කලේ මගේ මාමා. මට මේ ධීවර කර්මාන්තයට, වඩා හිතවත් කමක්, ලෙන්ගතු කමක්, ආදරයක් තියෙනවා.

අපේ රටේ සම්පත් විශේෂයෙන් ධිවර අමාත්‍යාංශය විනාශ වෙනවා දැක දැක මට ඉන්න බැහැ. මේ සම්පත් රැකගැනීමට අපි සියළු දෙනා කටයුතු කල යුතුයි. මේ සම්පත නැති වූ දවසට අපේ ජනතාවට වෙන්නේ මොකක්ද.

නාරා ආයතනය කල පර්යේෂණයක වාර්තාව පසුගිය දා එලි දැක්වුවා. ඒ වාර්තාවෙන් කියනවා ලංකාවේ මිනිසුන්ගේ මත්ස්‍ය පරිබෝජනය පහල යාම නිසා ඉදිරි වසර 05 තුල ලංකාවේ ජනතාව කුරු මිනිසුන් බවට පත්වීමේ වැඩි ඉඩක් තියෙන බව.

ඒ අවශ්‍ය ප්‍රාණයට මත්ස්‍ය ආහාර නොලැබෙන තත්වයට පත් කිරීමෙන් අපේ මිනිසු කුරු මිට්ටන් බවට පත්වෙනකල් අපිට බලන් ඉන්න බැහැ.

අපේ ධිවර කර්මාන්තයත් ලෝකයේ අනෙක් රටවල මෙන් ඉදිරියට යන්න ඕනේ. ඒ රටවල වගේ මාළු අලෙවිසල් නිර්මාණය කරන්න ඕනේ. ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ඕනේ.

අපිට හැමදාම ලිදේ ඉන්නා ගෙම්බෝ වගේ ඉන්න බැහැ. රටක් වශයෙන් ඉදිරියට ගිහින් ලෝකයේ අනෙක් රටවල් සමග මේ ධිවර කර්මාන්තයෙන් දියුණුවක් ලබාගැනීමට කටයුතු කල යුතුයි. ” යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News