අධිකරණ ඇමතිනියගෙන් නිවේදනයක්

Share

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ප්‍රකාශයකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සිය විරෝධය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පසුගිය 05 දා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පවසා ඇත්තේ අධිකරණ අමාත්‍යවරිය වශයෙන් තමා ඇමරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් හෝ එයට අනුබද්ධ වෙනත් කිසිඳු ආයතනයක් මෙරට පිහිටුවීමට විරෝධතාවයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.

අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනය..

“විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මා එවැනි කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අනුමැතියක් ලබා දී නොමැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මාගෙන් කිසිදු විමසීමකින් තොරව විපක්ෂ නායකවරයා වෙත අසත්‍ය කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඒ මහතාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පැවතගෙන එන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කීර්ති නාමයට හානිකර ඇති බවයි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කිසිදු විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම තුලින් සමස්ථ නීතීඥ සංගමයම හෑල්ලුවට භාජනය කර තිබෙන බව කණගාටුවෙන්  වුවද ප්‍රකාශ කළ යුතුව ඇත.

තවද කිසිදු විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ තුළින් පොදු ජනතාව මුලා වන බව ද, එකී කරුණු අසත්‍ය බව හෙළිවීමෙන් නීතීඥ සංගමය කෙරෙහි පොදු ජනතාව තුළ දීර්ඝ කාලයක සිට පැවති විශ්වාසවන්තභාවයට හානි වන බවද වැඩි දුරටත් පවසා සිටිමි.

මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මාතෘ භූමියට හානි විය හැකි හෝ යම් බලපෑමක් කළ හැකි හෝ කිසිඳු කටයුත්තකට ජනාධිපතිද, අගමැතිද, මාද ඇතුළු අපගේ රජය කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.”

Read more

Local News