විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම සැප්තැම්බර් මුල සිට

Share

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක් (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවා ගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අංක 2108 දරන 2019/01/25 දිනැති ගැසට් නිවේදනය මගින් සලසා දී තිබූ අතර, ඒ අනුව මෙවර ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 68,000කි.

මේ අතරින් සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ සිසුන් සංඛ්‍යාව 28000ක් වන අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 134ක් යටතේ බඳවාගැනීමට නියමිත සිසුන් තෝරාගන්නා ලදී.

එකවර සිසුන් 8000ක් විද්‍යාපීඨ වෙත බඳවාගැනීමේ දී මතු වන, දේශන ශාලා පහසුකම් සහ යටිතල පහසුකම්, නව ගොඩනැගිලි, කථිකාචාර්යවරුන් සම්පාදනය ඇතුළු සියලු අභියෝග වෙනුවෙන් ද සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පසුබිම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

21 වැනි සියවසට ගැළපෙන නව දැනුම රටේ දරුවන් වෙත ලබාදීම අත්‍යවශ්‍ය වන අතර, ගුරුවරුන් පුහුණු කිරීමේ දී ඒ සම්බන්ධ ව විශේෂ අවධානය යොමුකරමින් කටයුතු කරන ලෙසත්, තාක්ෂණය සමඟ බද්ධ වෙමින් දැනුම යාවත්කාලීන කරගැනීමට පහසු අවස්ථා සියලු ගුරුවරුන්ටත්, සියලු දරුවන්ටත් ළඟා කරදීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යතුමන් උපදෙස් ලබාදී  තිබේ.

ඒ අනුව දිගු කලක් පැවති යල්පැනගිය විෂය මාලා වෙනුවට යාවත්කාලීන වූ, නවලොවට ගැළපෙන විෂය නිර්දේශ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට හඳුන්වාදීමට ද කටයුතු යොදා තිබේ.

එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගිය වසරේ සිට විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා වන දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත.

දිගුකාලයක් තිස්සේ අධ්‍යාපන පද්ධතියේ මතුව පැවති ප්‍රමාණවත් ගුරු අධ්‍යාපනඥයින් පද්ධතිය තුළ නොසිටීමේ ගැටළුව කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පූර්ණ අවධානය යොමු වූ අතර, ගුරු විද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු මධ්‍යස්ථානවල ‍ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුරු අධ්‍යාපනඥයින් 852ක් අධ්‍යාපන පද්ධතියට බඳවාගැනීමට ද පියවර ගන්නා ලදී.

ඉදිරියේ දී විද්‍යාපීඨ තුන් අවුරුදු ඩිප්ලෝමාව උපාධියක් දක්වා සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති අතර, තාක්ෂණ විෂයධාරාව ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ම වෙන්වන ජාතික තාක්ෂණ විද්‍යාපීඨයක් කුලියාපිටියේ දි පිහිටුවීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක ව පවතී.

එමෙන් ම, විද්‍යාපීඨ 19 කින් ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව මේ වනවිට සම්පූර්ණ කර සිටින 4000කට අධික ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

අධ්‍යාපන පද්ධතිය තුළ දීර්ඝකාලීන ව නොවිසඳී පැවති ගැටළු රැසක් විසඳීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ මෑතකාලීන ව පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, පාසල් පද්ධතිය වෙත පුහුණු ගුරුවරුන් බඳවාගැනීම ඒ යටතේ ගෙන ඇති සුවිශේෂ ‍පියවරකි.

අමාත්‍යතුමන්ගේ උපදෙස් මත මේ වනවිට දිවයින පුරා පළාත් සහ ජාතික පාසල් පද්ධතියට බඳවාගෙන ඇති සමස්ත ගුරුවරුන් සංඛ්‍යාව 20,064කි.

2015 වසරේ 5866ක් ද, 2016 වසරේ 5018ක් ද, 2017 වසරේ 5162ක් ද, 2018 වසරේ 2186ක් ද 2019 වසරේ මේ වනවිට පත්වීම් ලැබූ ගුරුවරුන් 715ක් ද ඊට ඇතුළත් වෙයි.

Read more

Local News