ජනපතිට හිරුණිකාගෙන් ආරාධනාවක්

Share

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව ප්‍රකාශ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ අරලියගහ මන්දිරයේ ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා දේ සහ එම ප‍්‍රහාරයට මුහුණදුන් පිරිසට සාධාරණය ඉටුකරන ආකාරය පිළිබඳවද එහිදී පැහැදිලි කරන්නැයි මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළාය.

තමන් තේරීම් කාරක සභාවට කැඳවුවහොත් සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත් වන බවට අගමැතිවරයා සඳහන් කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, ජනාධිපතිවරයාටද නිර්භීතව ගොස් තමන් දන්නා දේ සහ රටේ ජනතාව දැනගත යුතු දේවල් ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළාය.

පොලිස්පතිවරයාටත්,  හිටපු ආරක්ෂක ලේකම්වරයාටත්  පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම පවරාදෙමින් ප‍්‍රහාරයට වගකිවයුතු බලධාරීන්ට අත සෝදාගැනීමට නොහැකි බවද ඒ මහත්මිය පැවසුවාය.

Read more

Local News