ඥානසාර හිමිට සමාව දීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 10දා

Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව කියමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම අද(11) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුමඩුල්ල තීන්දු කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 10 වනදා කැඳවන ලෙසයි.

පෙත්සම ඉදිරිපත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ සිර දඬුවම් නියම කළ අභියාචනාධිකරණය එම දඬුවම වසර හයකින් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කළ බවයි.

එවැනි බරපතළ චෝදනාවක් ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කර නිදහස් කර හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් සිදුවන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ද  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර එම පෙත්සම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියමිතව තිබේ.

Read more

Local News