රජයේ ඉඩම් විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙට

Share

රජයේ ඉඩම් නිසි නිර්ණායක සහ නීතිමය ප්‍රතිපාදනවලින් බැහැරව තමන්ට අවශ්‍ය පුද්ගලයින් වෙත ප්‍රදානය කිරීම සඳහා ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඒමට රජය ක්‍රියා කරමින් සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වුණි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් අද(11) යළි විභාගයට ගත් අවස්ථාවේදී ඊට අදාළව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි සහ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම් විභාගය අද බුවනෙක අලුවිහාරේ,  ප්‍රසන්න ජයවර්ධන සහ එල්. ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වුණි.

එහිදී නීතිඥ කනිෂ්ක විතාරණ මහතා කරුණු දක්වමින් රජය සතු යම් ඉඩමක් පැවරීම සඳහා ඉඩම් ලාභීන් විසින් සුදුසුකම් හා නිර්ණායක කිහිපයක් සපුරා තිබීම අවශ්‍ය බව කියා සිටියේය.

එහෙත් එම සුදුසුකම් හා නිර්ණායකවලට පිටුපා තමන්ට අවශ්‍ය පුද්ගලයින් වෙත ඉඩම් ප්‍රදානය කිරීමට රජය ගෙනයන මෙම ක්‍රියාමාර්ගය මූලික අයිතීන් උල්ලංඝනයක් බවයි නීතිඥ විතාරණ මහතා සඳහන් කළේය.

යම් ඉඩමක් රජය විසින් පුද්ගලයකුට පවරන අවස්ථාවේදී එහි සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන කොන්දේසි ඉදිරිපත් කිරීම වැදගත් බව ද නීතිඥවරයා සඳහන් කළේය.

රජයේ ඉඩම්වල භාරකරු රජය බව සඳහන් කළ නීතිඥ විතාරණ මහතා වත්මන් හා අනාගත පරපුරේ යහපත සඳහා එම ඉඩම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවද පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම් පිළිබඳව වැඩිදුර විභාගය හෙට(12) දිනට කල් තැබුණි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් උදය ගම්මන්පිල සහ සිසිර ජයකොඩි යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මෙන්ම පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් ද පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News