රජයේ ඉඩම් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමේ රහසිගත තීන්දුව කථානායකට

13

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට පිළිබඳව ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇත.

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇත.

මෙම පෙත්සම්වලට අදාල ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 15 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය පාර්ශවකරුවන්ට නියම කළේය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු විය.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිසිර ජයකොඩි සහ උදය ගම්මන්පිල යන ඒකාබද්ධධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත මහතා සහ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදේශිකයින්ට මෙරට භූමියේ අයිතිය පවරාදීම සඳහා වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත හරහා මෙරට පවතින ඕනෑම ඉඩමක් නිදහසේ විකුණා දැමීමට ජනතාවට අවකාශ සැලසෙන බව පෙන්වා දෙන ඔවුන් එය දැඩි අනතුරුදායක තත්ත්වයක් බව කියා සිටියි.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලු පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ඔවුන් චෝදනා කරයි.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබේ.