මුස්ලිම් විවාහ-දික්කසාද නීතිය කඩ්නම්න් සංශෝධනයට

Share

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනය විය යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත අද (15) භාර දීමට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ඉදිරියේදී ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධනය විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත.

මුස්ලිම් විවාහයකදී කාන්තා හා පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම, විවාහ ලියාපදිංචියේ දී කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම, ක්වාසි අධිකරණ සඳහා කාන්තා නියෝජනය ඇතුළත් කිරීම ඇතුළු කරුණු 11ක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට එහිදී තීරණය කෙරුණි.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කොට මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද යෝජනාවලියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට සකස් කර ඇති අතර එය අධිකරණ අමාත්‍යවරිය වෙත භාර දීමට නියමිතයි.

Read more

Local News