තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරනවා

Share

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සැබැවින්ම සිදුවන්නේ මෙරට බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මීරිගම රද්දල්ගොඩ විහාරස්ථානයේ ඊයේ (14) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ත්‍රස්තවාදය සිදු කල අය හා එයට උදව් කළ දේශපාලන නායකයින් නොමැතිව, වත්මන් ආණ්ඩුව ගෙන යා නොහැකි නිසා, ඒ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබා දී තේරීම් කාරක සභාවක් හරහා බුද්ධි අංශ නිලධාරීන් විනාශ කිරීමේ උත්සහයක නියැලී සිටින බව ද රාජපක්ෂ මහතා පැවසීය.

2001 දී අගමැතිවරයා වශයෙන් පත්ව වත්මන් අගමැතිවරයා පළමු රාජකාරිය ලෙස මිලේනියම් සිටිවල තිබු නිල බුද්ධි අංශය වටලා දැමු බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මාධ්‍යයට බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම තුළින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිලධාරීන් 38 ක් ඝාතනය කළ බව ද කියා සිටියේය.

අද දිනයේ දීත් අගමැතිවරයා සිදු කරනු ලබන්නේ මෙය බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මහතා, ලබන 24 වන දා කැඳවා ඇත්තේ මෙවැනි දෙයක් සිදු කිරීමට බවත්, බුද්ධි අංශය විසින් තොරතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දුන් බවත් පැවසීය.

අප්‍රේල් මස 09 වන දින පොලිස්පතිවරයාට ගැසට් නිවේදනයක් මඟින් දැනුම් දුන් බවත් පැවසු මන්ත්‍රිවරයා, එයින් ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුව ඇති බව ද කියා සිටියේය.

බුද්ධි අංශ ලැයිස්තුව ත්‍රස්තවාදීන්ගේ අතට පත් වීමෙන් මෙතෙක් කිසිවෙකු නොදැන සිටි එම නිලධාරීන්ගේ ජීවිත අනතුරට පත්වන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහි වගකීම ආරක්ෂක අමාත්‍යවරයා හෝ ආණ්ඩුව විසින් නොගන්නා බව පැවසු මන්ත්‍රීවරයා, අපේ ජීවිතවලට ඇති වගකීම කුමක් ද යන්න ගැටළුවක් බව ද කියා සිටියේය.

Read more

Local News