ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව අගෝස්තු 9 දා කැඳවයි

Share

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය නමැති කාන්තාවගේ සොහොයුරාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ශනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 09 වනදා නැවත කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ මෝසමක් මත කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ඩීවීඩී තැටි දහයක පිටපත් තමන් වෙත ලබා දී තිබුණද ඒවා වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.

එමෙන්ම සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකථන ඇමතුම් විස්තර වාර්තාවල පිටපත් පැමිණිල්ල විසින් තමන් වෙත ලබාදී තිබුණත් ඒවාද අපැහැදිලි තත්ත්වයක පවතින බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම කරුණු සලකා බලා විත්තියට සාධාරණයක් ඉටුවන පරිදි සුදුසු නියෝගයක් ලබා දෙන මෙන්ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ අධිනීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබාදුන් සාක්ෂිවල පිටපත් අපහැදිලි තත්ත්වයක පැවතීම පිළිබඳව තමන් කණගාටුව පළ කරන බව කියා සිටියේය.

කෙසේ වෙතත් විත්තිය වෙත ලබාදුන් සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ඩීවීඩී පටවල මුල් පිටපත් අධිකරණය භාරයේ පවතින බව සඳහන් කළ රජයේ නීතිඥවරිය විත්තිය වෙත ඒවා නැවත ලබා දීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය.

එමෙන්ම දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තාවල පැහැදිලි පිටපත් විත්තිය වෙත ලබා දීමට හැකි බව රජයේ අධිනීතිඥවරිය ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ ඩීවීඩී පට සහ දුරකථන විස්තර වාර්තා පිටපත් කඩිනමින් විත්තිය වෙත ලබාදෙන මෙන් රජයේ නීතිඥවරියට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා එම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත අගෝස්තු මස 09 වනදා කැඳවන බව නියම කළේය.

perpetual treasuries ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පදිංචිව සිටි නිවසක මාසික කුලිය ගෙවූ බවට මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අනිකා විජේසූරිය නමැති කාන්තාවගේ සොහොයුරකු වන සචිත් විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් රනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News