බැඳුම්කර සිද්ධියට අදාළ විත්තිකරුවන් 8කට ඇප

Share

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අද(19) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූවේය.

එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දස වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුන්චිහේවා යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු ද පෙනී සිටියේ නැත.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් අට දෙනාට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

ඇප කරුවන් අතරින් එක් අයෙකු පවුලේ ඥාතියෙකු විය යුතු බවටද නියම කෙරුණි.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට නියෝග කළේය.

මෙම නඩුවට අදාළව එක් විත්තිකරුවෙකුට විශාල ලේඛන සංඛ්‍යාවක් අඩංගුව තිබෙන බැවින් ඒවා විවෘත අධිකරණයේ බාර දීමට නොහැකි තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඒවා විත්තිකරුවන් විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්නා ලෙසද දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වූ වරෙන්තුවක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

2018 වසරේ පෙබරවාරි මස දෙවන දා මහ බැංකු බැඳුම්කර නඩුවේ සැකකරුවකු ලෙස අර්ජුන් මහේන්ද්‍රන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නම් කිරීමෙන් පසුව එම වකවානුවේ සිංගප්පූරුවේ සිටි විත්තිකරු වෙත මහේස්ත්‍රාත්වරිය විසින් නොතීසි නිකුත් කළ බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම නොතීසිය විදේශ අමාත්‍යංශය භාර දීමට උත්සාහ කළත් අසාර්ථක වූ බව ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව කුරියර් සේවාවක් මාර්ගයෙන් මෙම නොතීසිය විත්තිකාර මහේන්ද්‍ර මහතා වෙත භාර දීමට උත්සාහ කලත් එය ද අසාර්ථක වූ බව සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඉන්පසුව එම අධිකරණය මගින් වරෙන්තු නිකුත් කෙරුණු බව සඳහන් කළේය.

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය හරහා සිංගප්පූරුවේ වාසය කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් 2018 වසරේ අප්‍රේල් මස 05 වනදා නිල් නිවේදනයක් ද එම අප්‍රේල් මාසයේම 19 වනදා රතු නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කෙරුණු බව ද අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා දන්වා සිටියේය.

විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් 2018 වසරේ පෙබරවාරි මාසයේ සිට පැවැත්වුණු මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ විමර්ශන වලට සහභාගී වූ බවත් එම කොමිසමේ වාර්තාව නිකුත් වීමට ආසන්නව තිබෙන අවස්ථාවක එනම් 2017 වසරේ ඔක්තෝබර් මස 13 වනදා සිංගප්පුරුව බලා පිටව ගොස් ඇති බවත් ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙතුළින් අර්ජුන් මහේන්ද්‍රන් හිතාමතාම මෙම අධිකරණ ක්‍රියාවලිය මඟ හැරීමට උත්සාහ දරා ඇති බවට පෙනී යන හෙයින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කරන මෙන් ද ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙම නඩුවේ දහ වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාද අධිකරණය මගහැර සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා සිතාසියක් නිකුත් කරන ලෙසද රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් අධිකරනයෙන් ඉල්ලීම් කළේය.

පැමිණිලි පාර්ශ්වය විසින් සිදු කළ එම ඉල්ලීම් පිළිබඳ එම නියෝගය ලබන 24 වන දා ප්‍රකාශයට පත් කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් කරනු ලැබ සිටිති.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබේ.

එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688,762,100/- ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට ඇත.

ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News