ජාතික ආරක්ෂාව සවිමත් කළ යුතුයි

Share

ජාතික ආරක්ෂාව සවිමත් කරමින් අවිහිංසාවාදී රටක් නිර්මාණය කළ යුතු බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ(18) මිනුවන්ගොඩ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගියදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධියකින් හානියට පත් මිනුවන්ගොඩ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුවුණි.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“අද දවසේ අපි ක්‍රියාත්මක කරන්නේ සැබෑ සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය.සියලුම ආගම් සියලුම ජාතීන් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන අපි මේ රට සෞභාග්‍යසම්පන්න ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙච්ච කිසිම කෙනෙකුට හිරිහැර නොවන අවිහිංසාවාදය ක්‍රියාත්මක වෙන රටක් අපි නිර්මාණය කරන්න ඕනේ.

මොනම අන්තවාදයකටවත් අපේ රටේ කිසිම ඉඩක් නැහැ.අන්තවාදය ඉවත්කිරීම නෙවෙයි අන්තවාදය විනාශ කරන්නට ඕනේ.මේ අන්තවාදය තමයි අපේ රට විනාශ කරන මහාපිළිකාව.

ඒ පිළිකාව අපි විනාශ කරන්නට ඕනේ.කැඩෙන කැඩෙන හැම විහාරස්ථානයක්ම අපි ගොඩනගනවා.විනාශ කරන විනාශ කරන හැම දේවස්ථානයක්ම අපි ගොඩනගනවා.විනාශකාරී ක්‍රියාතුළ හානියට ලක්වන හැම පල්ලියක්ම හැම කෝවිලක්ම අපි ගොඩනගනවා.ඒක තමයි නියම සිංහල බෞද්ධකම.“

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය වැලිකල ප්‍රෙද්ශයේ ඉදිකළ විමලවිකුම්ගම උදාගම්මානයද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ ජනතා අයිතියට පත්කෙරුණි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ 217 වන උදාගම්මානය ලෙස ඉදිවූ මෙය නිවාස 21කින් සමන්විතයි.

Read more

Local News