වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බැලීම අගෝස්තු 6 දාට කල්යයි

Share

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කුරුණෑගල රජයේ රෝහලේ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ  මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව නිසි පරිදි වගඋත්තරකරුවන් වෙත නොතීසි ලැබී නොමැති හෙයින් එම පෙත්සම සලකා බැලීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද(22) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන සහ යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිසි පරිදි ලැබී නොමැති බවයි.

ඒ අනුව නැවත වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන මෙන්ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වනවිට රැඳවුම් නියෝග අවසන්කොට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 6 වනදා කැඳවන මෙන් නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ නීති විරෝධී ලෙස වත්කම් රැස් කිරීම සහ වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනා මත කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තමන්ව රහස් පොලිසිය විසින් රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවයි.

තමන්ට එල්ල කර තිබෙන චෝදනාව පදනම් පදනම් විරහිත බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුලින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News