කල්ලාරු රක්ෂිතය හෙළි නොකරන්නැයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට දන්වයි

Share

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා වනාන්තර හෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරනු ලැබූ එම ලිඛිත දැනුම් දීමේ පිටපතක් මෙම නඩු කටයුත්තතේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා වෙත යොමු කරන මෙන් ද අධිකරණය විසින් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

කල්ලාරු රක්ෂිත වනාන්තරයෙ ඇතැම් ප්‍රදේශ හෙළිකොට සිදුකර තිබෙන නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළේය.

රජයේ නීතිඥවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වන රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා හෙලීමට ඉඩ නොදෙන බවට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

එම දැනුම්දීම සටහන් කරගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි පිටපතක් මෙම නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා වෙත යොමු කරන ලෙස ද රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන ලබන 31 වනදා සිදු කිරීමටයි අධිකරණය නියම කළේ.

මෙහිදී පෙත්සම්කාරු අධිකරණයට දන්වා සිටියේ විල්පත්තු ජාතික වනාන්තර කලාපයට මීටර් 400ක් පමණ ආසන්නයේ පිහිටි මරිච්චුකට්ටු, කල්ලාරු වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ කිසියම් පිරිසක් විසින් එළි කොට එහි අනවසර ඉදිකිරීම් රැසක් සිදුකරමින් තිබෙන බවයි.

වන සංරක්ෂණ පනතේ තුන් වන වගන්තියට අනුව මේ ආකාරයෙන් වනාන්තර හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම වරදට වරදකරු වන පුද්ගලයකුට වසර පහක් දක්වා සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතින පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එබැවින් අදාළ වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් තවදුරටත් සිදු කිරීම තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් ඉවත් වීම නිසා මෙම පෙත්සම මුලසිට යළි විභාග කිරීමට අභියාචනාධිකරයේ සභාපති විනිසුරු වරයා තීන්දු කළේය.

ඒ අනුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් විභාගය යළි පැවැත්වෙයි.

Read more

Local News