පූජිත් සහ හේමසිරිට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම කල්යයි

Share

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ මිනී මැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දූන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද(23) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය‍.

එම අවස්ථාවේ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයන්ට නොතීසි ලැබී නොතිබුණත් ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බව දන්වා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට සහභාගිවීමට නියමිතව තිබෙන බැවින් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම පිළිබඳව කරුණු තහවුරු කිරීම අගෝස්තු මස 01 වන දා තෙක් කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහි වගඋත්තරකරුවන්ට ඇප ප්‍රදානය කරමින් මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවන අතුරු ආඥාවක් තමන් අධිකරණ වෙතින් අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයාගෙන් විමසා සිටියේ පෙත්සමෙන් ඉල්ලා සිටින අවසාන සහනය සහ අතුරු සහනය එක නොවේදෑයි විමසුවා.

ඊට පිළිතුරු දෙමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ මේ පිළිබඳව කරුණු තහවුරු කරන අවස්ථාවේදී තමා කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සම තුළින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් ඇප මත මුදා හැරීමට අදාළ නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය නීතිිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් එම නියෝගය සිදු කර ඇති බව පෙන්වා දී තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර නොගැනීම විධිමත් නොවන ක්‍රියාවක් බවට මහේස්ත්‍රාත්වරිය එම නියෝගයේ සඳහන් කර තිබීම නීති විරෝධී සහ නීතිය වැරදි ලෙස වටහා ගැනීමක් බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගත යුතු බවට නෛතික වගකීමක් නොමැති බවද නීතිපතිවරයා ඒ තුළින් සඳහන් කර තිබේ. බී වාර්තාවේ සඳහන් කර තිබෙන මිනීමැරුම් චෝදනා ඇතුළු සෙසු චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී තිබෙන අවස්ථාවක ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙන බවත් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගත යුතු බවට කිසිදු නෛතික වගකීමක් නොමැති බවද එම ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර ඇත.

මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දී සැකකරුවන්ට එරෙහිව එල්ලවී තිබූ මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නීතිවිරෝධී බව පෙන්වා දෙන නීතිපතිවරයා ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී සැකකරුවන් විසින් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා විශාල ජීවිත හා දේපල හානියක් සිදු වූ බවත් ඒ තුළින් මොවුන් මිනීමැරීමේ නොමැති වරද සිදු කර ඇති බවද අදාළ පෙත්සමෙන් සඳහන් කර තිබේ. මේ හේතුවෙන් සැකකරුවන් දෙදෙනා වෙත එල්ල කර තිබූ මිනීමැරුම් චෝදනා බැහැර කිරීම නීති විරෝධී, අයුක්ති සහගත, අසාධාරණ හා අත්තනෝමතික බවද එම ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් කර තිබේ.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට ලැබුණු බුද්ධි තොරතුරු අවිනිශ්චිත තොරතුරු ලෙස මෙම නියෝගය මගින් මහේස්ත්‍රාත්වරිය විසින් සඳහන් කර තිබුණත් ඒ තුළින් මහේස්ත්‍රාත්වරිය නිශ්චිත බුද්ධි තොරතුරු අනිසි සැහැල්ලුවට ලක් කරමින් කරුණු වරදවා වටහා ගෙන අදාළ නියෝගය සිදු කර ඇති බව එම ප්‍රතිශෝධන පෙත්සමින් චෝදනා කර තිබේ.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් ලැබුණු තොරතුරු වලට අනුව කටයුතු කරමින් මහජනතාව දැනුවත් කිරීම, ආගමික නායකයින් දැනුවත් කිරීම වැනි කාරනා සැකකරුවන්ට ඉටු කිරීමට හැකියාව තිබුණද ඒවා ඔවුන් විසින් පැහැර හැර ඇති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු ද මෙම නියෝගය තුළින් මහේස්ත්‍රාත්වරිය සැහැල්ලුවට ලක් කරමින් වැරදි ලෙස වටහා ගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇතැයි ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් තවදුරටත් පෙන්වා දී ඇත.

මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නඩු තීන්දු කිහිපයක් පාදක කරගෙන තිබුණ ද එම නඩු තීන්දු කිසිවක මිනීමැරුම් චෝදනා එල්ලවී තිබෙන සැකකරුවන්ට ඇප නියම කළ හැකි බවට කිසිදු සදහනක් නොමැති බව ද නීතිපතිවරයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

මෙම සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවට තමන්ට කිසිදු බැඳීමක් නොමැති බව මහෙස්ත්‍රාත්වරිය විසින් සිය තීන්දුව සටහන් කර තිබුනත් නීතිපතිවරයා කිසිදු අවස්ථාවක මහේස්ත්‍රාත්වරියට උපදෙස් ලබා දීමක් සිදු නොකළ බවත් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් පමණක් ලබාදීමට කටයුතු කර ඇති බව ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකර ඇති මෙම ඇප නියෝගය නීතියට පටහැනි හෙයින් එය බලරහිත කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එම ඇප නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු ආඥාවක් නිකුත් කර ලෙස නීතිපතිවරයා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News