මම පිටකොන්දක් තියෙනවා – ජනපති

Share

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පැවති රජයේ මෙන් ම පවතින රජයේ ද වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව පැවසූ ජනාධිපතිවරයා ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දූෂිතයන් සමඟ තමා සටන් වදින්නේ ද පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බවද පැවැසිය.

පිටකොන්දක් ඇති අය සිදු කළ යුත්තේ විවේචන සිදු කිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදී රට ගොඩනැගීමට එක්වීම බවද ජනපතිවරයා සඳහන් කළේය.

එසේම විවේචන අවශ්‍ය වුවත් එය රට සහ ජනතාව නොමග යවන සහ ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන බරපතළ විවේචන නොවිය යුතු බවත් එම විවේචන කරන සියලු දෙනා පාවා දෙන්නේ අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ විරෝධාර රණවිරුවන් ප‍්‍රමුඛ සමස්ථ ආරක්ෂක අංශ දිවි පරදුවට තබමින් ඉටුකළ විශිෂ්ට මානුෂික මෙහෙවර බව ද ඔහු කියා සිටියේය.

එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර අතේ තබාගෙන අපේ‍්‍රල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  ඊයේ (22දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,සත්විරු අභිමන් 2019, රණවිරු සුබසාධන ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

තමා සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන අතර සෑම ආගමික නායකයෙකුටම වන්දනා කරන බවයි. යම් ප‍්‍රශ්නයක් තිබේනම්  ඕනෑම අයෙකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අපේ‍්‍රල් 21 කණගාටුදායක සිදුවීමෙන් මිය ගිය සියලුදෙනා පිළිබඳ තම හදවත් තුළ ඇති වේදනාව එදා මෙන්ම අද දවසේ ද එලෙස ම බවත් එය කිසිදා අමතක කළ නොහැක්කක් බවත් ඔහු පැවැසීය.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.

අපේ‍්‍රල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත‍්‍රස්ත සංවිධානය ශ‍්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලු කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Read more

Local News