මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරන්න පදනම් කරුණු දිවුරුම් ප්‍රකාශයකින් ඉදිරිපත් කරන්න

Share

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට පදනම් වන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් මේ මස 09 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකරනු ලැබීය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තාට සිතාසි බාර දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අද සිය තීරණය දැනුම් දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 73 වන වගන්තියට අනුව විත්තිකරුවෙකුට මුල් අවස්ථාවේදීම වරෙන්තු නිකුත් කිරීම සඳහා යම් යම් කරුණු සම්පූර්ණ වී තිබිය යුතු බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම නඩුවේ පළමුවන විත්තිකරු සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමට හේතුවන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් මේ මස 09 වනදාට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා වෙත නියම කළේය.

එමෙන්ම මේ වන විට අධිකරණය මඟහැර සිංගප්පූරුවේ වෙසෙන නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා වෙත සිතාසි නිකුත් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම සිතාසි පිළිබඳ වාර්තාව සැප්තැම්බර් මස 17 දා ඉදිරිපත් කරන මෙන් පැමිණිලි පාර්ශවයට නියම කළේය.

මෙහිදී විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටින අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන විත්තිකරුවන්ගේ මව් භාෂාව සිංහල නොවන බැවින් ඔවුන්ට මෙම අධිචෝදනා පත්‍රයේ දමිළ හා ඉංග්‍රීසි පරිවර්තනයක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළේය.

විත්තිකාර චිත්ත රන්ජන් හුළුගල්ල නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඇමරිකා එක්සත් ජනපදය උපන් අයෙකු බැවින් ඔහුට සිංහල තේරුම් ගැනීමේ අපහසුතාවක් පවතින නිසා ඔහුටද චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තන පිටපතක් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම්වලට එකඟතාව පළ කළ රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා නඩුවේ චෝදනා පිළිබඳව විත්තිකරුවන්ට අවබෝධයක් ලබාගැනීම වැදගත් බැවින් ඔවුන් ඉල්ලා සිටින පරිවර්තන ලබාදීමට තමන් සූදානම් බව දැනුම් දුන්නේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් කරනු ලැබ සිටිති.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබේ.

එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688,762,100/- ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට ඇත.

ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News