පාඨලීගේ අමාත්‍යාංශයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් මෙන්න

Share

රටේ ආදායම වැඩිකරගන්නා ආකාරය හෝ එත් සමඟම සංවර්ධනය කරා ගමන් කරන්නේ කෙසෙද යන්න හරි හැටි දැන ගැනීමට අවශ්‍ය නම් සිය අමාත්‍යාංශයෙන් එය ඉගෙන ගන්න ලෙස මහා නගර හා නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

රට ගැන හෝ රටේ අනාගත ගැන බොරු හීන මවන්නේ නොමැතිව සෑම සමාජ කණ්ඩායමක්ම බලවත් කළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අවිස්සාවේල්ල සීතාවකපුර වාණිජ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම වාණිජ සංකීර්ණය රුපියල් මිලියන 500 ක වියදමින් මහල් දෙකකින් හා කඩකාමර 84 යුක්තව ඉදිකිරීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ රට සීග‍්‍රයෙන් වෙනස් වෙනවා. අපි ඉන්නේ කි‍්‍රස්තු වර්ෂයෙන් 1019 නම් අපි හැමෝටම කියන්න පුළුවන් 1050 කොහොමට තියෙයිද කියලා.

පන්සල කොහොමද, රාජධානිය කොහොමද? ගොවියා කොහොමද, කර්මාන්තකරුවා කොහොමද කියලා අපිට කිසි අපහසුවක් නැතිව කියන්න පුළුවන්.

හැබැයි අද අපට කියන්න බැහැ 2019 ඉඳගෙන 2050 කොහොම වෙයිද තියා 2030 කොහොම වෙයිද කියලවත් අපට කියන්න බැහැ. එච්චර වේගයෙන් මේ ලෝකය, මේ සමාජය, මේ තාක්ෂණය, මේ මනුෂ්‍ය වර්ගයා වෙනස් වෙමින් තිබෙනවා.

අපි දන්නවා ගිය විසිවෙනි සියවසේ මුල් භාගයෙදී ලංකාවේ මිනිසෙක්ගේ ආයු කාලය අවුරුදු 40 යි. අද අවුරුදු 80 යි. සමහරවිට මේ සියවස අවසන් වන විට මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 150 වෙන්නත් පුළුවන්.

ඒ වගේ වාතාවරණයකට මේ ලෝකය, මේ රට, මේ තාක්ෂණය සීග‍්‍රයෙන් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා මේක පැරණි තාලයට පැරණි ක‍්‍රමයට, පැරණි ආකාරයට මේ රටට තවදුරටත් ඉදිරියට යන්න බැහැ.

අතීතයේ තිබුණා වගේ නෙමෙයි අද අලූත් සමාජ පන්ති අලූත් තරුණ පන්ති ඒ සමගම ගොඩනැගිච්ච සමාජ ජාලාවන් විද්‍යාත්මක ජාලාවන් තාක්ෂණික ජාලාවන්, විදේශ රටවල්වලට කර තිබෙන විවෘත භාවයන් සමග අද ඇතිවෙලා තිබෙනවා.

ඒ නිසා මේ රටේ සමහරු කල්පනා කරනවා එක පවුල් ෂෝ එකකින්, එහෙම නැත්නම් වන් මෑන් ෂෝ වලින් මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා. අද මේ රට එහෙම වන් මෑන් ෂෝ හරි වන් ෆැමිලි ෂෝ වලින් ගෙනයන්න බැහැ.

අද මේ රට ඉදිරියට ගෙනයන්න නම් අපට අවශ්‍යයි සාමුහික නායකත්වයක්. විශේෂයෙන්ම විවිධ වෘත්තීන්ගේ නියෝජිතත්වයෙන් යුතු වෘත්තීය නායකත්වයක් අද රටට අවශ්‍යයි.

අර ණය බර ටික ඉදිරි වසරවලදී ගෙවලා මේ රටේ ආර්ථික බලය ජවමත් කරලා, සවිමත් කරලා මේ රටේ දරුවෝ රටෙන් පැනලා යන එක නවත්වලා මේ රට තුළ දරුවන්ට රැකියා අවස්ථා සහ ආත්ම ගරුත්වය ඇති කරලා සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන් ශක්තිමත්, පිරිච්චි ආතතිවලින් තොර ජනතාවක් ගොඩනැගීමේ අභියෝගය වන් මෑන් ෂෝවලට, වන් ෆැමිලි ෂෝවලට කරන්න බැහැ.

ඒකට අවශ්‍යයි අපට විශාල වශයෙන් සාමුහික ප‍්‍රයත්නයක්, සාමූහික කි‍්‍රයාදාමයක්. අන්න ඒ ප‍්‍රජාතාන්ත‍්‍රික වටපිටාවටයි අපි ඉන්නේ.

අන්න ඒ ප‍්‍රජාතාන්ත‍්‍රික ගමනයි අපි යමින් ඉන්නේ. ඒ සඳහා සියළු දෙනාගේම බලගතු මැදිහත් වීමක් අද අපට අවශ්‍ය වෙලා තිබෙනවා.

කාටහරි  ඕනේ නම් රටේ ආදායම වැඩිකරගන්න හැටි, ආදායම වැඩිකරගන්න ගමන් සංවර්ධනය කර ගන්න හැටි අපේ අමාත්‍යාංශයෙන් ඉගෙන ගන්න කියලා ඒ අයට කියනවා.

රට ගැන අනාගත බොරු හීන මවන්නේ නැතිව. ඒ නිසා මේ රටේ ඉපදිලා, මේ රටේ පුරවැසිකම් ලබලා, මේ රටේ මිය යන මිනිසුන් හැටියට, අපි නියම දේශපේ‍්‍රමීන් හැටියට මේ රට ඉදිරියට ගෙනයන්න  ඕනෙ නම් මේ රටේ සෑම ජන කණ්ඩායමක්ම, සෑම වෘත්තීය ක්‍ෂෙත‍්‍රයක්ම, සෑම සමාජ කණ්ඩායමක්ම බලවත් කළ යුතුයි.”

Read more

Local News