හැමදාම ක්‍රිකට් ගැහුවේ සංතෝසෙන්, එළියට යන්නෙත් සන්තෝසෙන්

Share

ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන කිසිදු වේදනාවක් නොමැති බවත්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් රටට කළ සේවය තමන් දන්නා බවත් සිය සමුගැනීම ප්‍රකාශ කරමින් නුවන් කුලසේකර පැවසීය.

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (24) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු පවසා සිටියේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කළේ සතුටින් බවත්, ක්‍රීඩා‍වෙන් ඉවත්ව යන්නේත් සතුටින් බවත්ය. ලසිත් මාලිංග සිදුකළ ප්‍රකාශයත් සමග සිය සමුගැනීම ජනප්‍රිය වූ බවද කුලසේකර මෙහිදී පවසා සිටියේය.

කෙසේ නමුත් කුලසේකර විසින් තමන්ට සමුගැනීමට තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළත්, එයට ක්‍රිකට් ආයතනයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ පිළිබඳ අදහස් දැක්වූ කුලසේකර, “මම සමුගැනීමට තරගයක් ගැන ඉල්ලීමක් කළේ ලසිත්ගේ ප්‍රකාශයත් එක්ක. ඒ නැතත් මම විශ්‍රාම යන්න තමයි හිටියේ. ලසිත්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා, ඔහුට කරන ගෞරවයක් විදිහටයි සමුගැනීමට තරගයක් මම ලිපියකින් ඉල්ලීමක් කළේ.

අද (24දා) උදේ මම ඈෂ්ලි සිල්වා මහතාට කථා කළා. ඔහුට ලිපිය ලැබුණා කිවුවා. ඊට පෙර මොහාන් ද සිල්වා මහතාත් සාකච්ඡා කරනවා කියලා තිබුණා මට සමුගැනීමට තරගයක් ලබාදෙන එක ගැන. ඒ අනුව ඊයේ (පෙරේදා) සාකච්ඡා කළා. නමුත් අද (24දා) කිවුවා පළමු එක්දින තරගය ලසිත් මාලිංග වෙනුවෙන් සහ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් ද නම් කරනවා කියලා.

නමුත් ක්‍රීඩා කරන්න තරගයක් ලැබෙන්නේ නැති නිසා මම සමුගැනීමට තීරණය කළා. ඇත්තටම මම ඉල්ලීම කරලා තිබුණේ ලසිත් මාලිංග විශ්‍රාම ගන්න තරගයේම ක්‍රීඩා කරන්න අවස්ථාවක් පුළුවන් නම් දෙන්න කියලයි. නමුත් දැන් කණ්ඩායම තෝරලා ඉවරයි.

අවස්ථාව නොලැබුණා කියලා කණගාටුවක් නැහැ. මොකද මම ඉල්ලීමක් කළා. ඒක ඒගොල්ලන්ගේ (ක්‍රිකට් ආයතනයේ) තිබෙන දේවලුත් එක්ක ලැබුණේ නැහැ කියලා තමයි මම හිතන්නේ”.

තමන්ට කණ්ඩායමට නැවත එන්න අවස්ථාවක් නොලැබුණේ පසුගිය කාලවකවානුවේ දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩ නොකළ නිසාදැයි මෙහිදී විමසා සිටියේය.

“මම අන්තිමට ක්‍රීඩා කළේ 2017 වසරේ ජූලි මාසයේ සිම්බාබ්වේ සමග. ඉන්පසුවත් මම ක්‍රීඩා කළා. 2018 වසරෙදිත් පළමුපෙළ තරගවලියට ගැහුවා. ඉන්පසුව තිබුණු විස්සයි20 පළාත් ක්‍රිකට් තරගාවලියට මාව තෝරාගත්තේ නැහැ.

ඒ නිසා මම හිතුවා දිගටම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවාට වඩා, අත්දැකීමක් ලබාගන්නත් එක්ක පිටරටකට ගිහිල්ලා ක්‍රීඩා කරන්න. ඒ අනුව මම ඔස්ට්‍රේලියාවේ ගියා ඒ අවුරුද්දේ. මේ අවුරුද්දේ අප්‍රේල්වල තමයි මම නැවත ලංකාවට පැමිණියේ.

මේ අයගේ (තේරිම් කමිටුවේ) සැලැසුමක් තියෙන්න ඇති 2019 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමක් තෝරාගෙන, ඒ කණ්ඩායමත් එක්ක යන්න. ඒ නිසා වෙන්න ඇති මාව තෝරාගත්තේ නැත්තේ. නමුත් මම දේශීය තරග ක්‍රීඩා නොකර හිටියට මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව හිටියා. මම ඔස්ට්‍රේලියාවට ගියෙත් ඒ නිසා.

නමුත් මම මොකද කරන්නේ කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ. මම ක්‍රීඩා කර කර හිටියා කියලා සභාපතිතුමා නොදැන සිටියත්, අනික් අය දැනගෙන හිටියා කියලා මම හිතනවා.

කෙසේ නමුත් මට ගොඩක් සතුටුයි ලොව අංක එකේ වේගපන්දු යවන්නෙකුවීමට හැකිවීම ගැන. මම ප්‍රාර්ථනා කරන්නෙත් ඉදිරියේ ලංකාවෙන් වේගපන්දු යවන්නෙකුට අංක එකට එන්න පුළුවන් වෙන්න කියලා.”

මෙහිදී කුලසේකරගෙන් විමසා සිටි කරුණක් වූයේ වර්තමානයේ බොහෝ කණ්ඩායම්වල වේගපන්දු යවන්නන් තෝරා ගනිද්දී, පන්දු යවන්නන්ගේ වේගවත් බවද සැලකිල්ලට ගන්නා බවයි.

“ඉස්සරවෙලාම වේගපන්දු යවන්නෙකුගේ බලන්න ඕන ඔහු මොනවගේ පන්දු යවන්නෙක්ද කියලා. පන්දු යවන්නෝ ගත්තමත් වර්ග කිහිපයක් ඉන්නවා. ස්වින්ග් කරන, විවිධ ඉරියව්වලින් පන්දු යවන අය ඉන්නවා. මේ ඔක්කොම ඕන වෙනවා එක් එක් අවස්ථාවල පන්දු යවන්න. ඒ අනුව තමයි පන්දු යවන්නන්ක් හැඩ ගැහෙන්න.

අද සමහර පන්දු යවන්නෝ ඉන්නවා පැ.කි.මී. 150 පන්දුව යවන. නමුත් ඒ අයටත් ලකුණු 80ක් ගහනවා. පැ.කි.මී. 130ට දාන අයත් ඉන්නවා. ඒ අයටත් ලකුණු 80ක් ගහනවා. ඒ නිසා එය තීරණය වෙන්නේ වේගය අනුව නෙමෙයි. ඒ වෙනස තියෙන්නේ අපි දකින දේ අනුව” යැයි පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබී ඇත්දැයිද මෙහිදී විමසා සිටි අතර, එහිදී කුලසේකර පවසා සිටියේ එවැනි ආරාධනාවක් තමන්ට මෙතෙක් නොලැබුණු බවයි. කෙසේ නමුත් ඉදිරියේදී තමන්ගෙන් යම් කිසි දායකත්වයක් රටට අවශ්‍ය වුවහොත් එය ඉටුකරදීමට තමන් කිසිදු පැකිලීමක් තොරව දායක වන බවද කුලසේකර මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

“මට මේ හැමදේම ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. ඒ නිසා මින් ඉදිරියටත් යම් කිසි දායකත්වයක් මගෙන් ලැබෙන්න අවශ්‍ය වුණොත් එය ඉටුකර දෙන්න කිසිදු පැකිලීමකින් තොරව මම ඉදිරියට එනවා”.

අවසන් වශයෙන් කුලසේකරගෙන් විමසා සිටියේ සමුගැනීමේ තරගයක් ක්‍රීඩා නොකරම සමුගැනීමට සිදුවීම පිළිබඳ කණගාටුවක් ඇත්දැයි යන්නයි. ඒ ගැන කුලසේකර පැවසූවේ මෙලෙසිනි.”අනේ නැහැ. කණගාටුවෙන්න කිසිම හේතුවක් නැහැ. මම රටට කරපු දේ මම දන්නවා. ලසිත් කළ ප්‍රකාශයත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරළියට ආවේ. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව මෙච්චර ප්‍රසිද්ධ කළාට. කිසිම දුකක් නැහැ. හැමදාම ක්‍රිකට් ගැහුවේ සංතෝසෙන්, ක්‍රිකට්වලින් එළියට යන්නෙත් සන්තෝසෙන්” යැයි පැවසීය.

Read more

Local News