අලි රොෂාන් ඇතුළු අටක් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

Share

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාර දීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දැනටමත් ඇප මත මුදාහැර තිබෙන හෙයින් ඔවුන් නැවතත් සුදුසු ඇප කොන්දේසි මත මුදාහරින ලෙසයි ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා ගෙන් විමසා සිටියේ මෙම විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය පල කරනවාද? යන්න.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුමැතිය පළ කිරීමක් නොකරන බවත් ඔවුන් නඩුව අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වන වගන්තිය යටතේ විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවයි.

නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව තමන්ට විත්තිකරුවන් වෙනුවෙන් ඇප ලබා දීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

ඉන් අනතුරුව නඩුව නැවත අගෝස්තු මස 02 වනදා කැඳවීමට නියම කෙරුණි.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරුණික වන ප්‍රියංකා සංජීවනි යන අයද ඇතුළත් වෙයි.

Read more

Local News