දැඩි නියං තත්ත්වයෙන් අම්පාරේ පවුල් 2000ක් පිඩාවට

Share

අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 2000 ක් දැඩි පිඩාවකට ලක්වී ඇත.

මෙම පවුල්වල 8000 ක පමණ ජනතාවක් අසීරුතාවයට පත්ව ඇත.

අරන්තලාව, පුලාවල, ටැමිපිටිය, පොල්ලේබැද්ද,වරාපිටිය,පියාසර ගම යන ගම්මනාවල ජනතාව මෙසේ අපහසුතාවයට පත්ව තිබේ.

දැඩි නියං තත්ත්වය හේතුවෙන් ළිං සියල්ල සිඳී ගොස් ඇති අතර ප්‍රදේශයේ ඇති වැව්වල ජල  මට්ටමද පහත බැස තිබේ.

දැනට බොහමයක් ගම්මානවලට ජලය සැපයීම සිදුකලත් එය ප්‍රමාණවත් නොවන බව අද ‍මහ ඔය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

ජලය නොමැති ජනතාව සඳහා බවුසර යොදවා ජලය ලබාදීමට ආණ්ඩුවේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

මේ පිළිබදව දැනුම් දීම සඳහා අම්පාර දිසාපති කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරීන්ගේ ද කිසිදු අවධානයක් නොමැති බව වාර්තා වෙයි.

ජලය නොමැතිකම නිසා පාසැල් දරුවන්ද අපහසුතාවයට පත්ව ඇති අතර ජලය සොයා ගැනීම සඳහා ජනතාවට බොහෝදුර ගෙවා යෑමට සිදුව තිබේ.

සමහර ගම්මනාවල ඇති නල ළිංවල ද ජලය සිඳී ඇති අතර සමහර නල ළිංවල ජලය පානය කිරීමට නොහැකි බවද ගම්වැසියන් ප්‍රකාශ කර ඇත.

දැනට ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව දින තුනකට වරක් ජලය බව්සර මඟින් ලබාදෙන අතර එය ප්‍රමාණවත් නොවන බවද වාර්තා වෙයි.

රජයේ දැඩි අවධානය යොමුකර තමන්ට දිනපතා ජලය ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කරන ලෙසට ගම්මැවසියන් රජ‍යෙන් ඉල්ලා සිටියි.

Read more

Local News