කඩිනම් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීය යුතුයි

Share

ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසමින් කඩිනම් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරුණු සූදානම් කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ලබා දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (24) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අවස්ථාවේ මෙම පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතුය යන යෝජනාව ඒකමතිකව අනුමත කළ බවත් පසුව එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ලබා දුන් බවත් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

සැප්තැම්බර් 2 වන දින දැවැන්ත පක්ෂ සංවත්සරයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳ එහිදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දැනුවත් කිරීමට සූදානම්ව සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බවයි.

කිනම් ආකාරයෙන් පත් වුවද ඉදිරියේ පත්වන විධායක ජනාධිපතිවරයා අතර සහ අගමැති අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් විධායක ජනාධිපතිවරයෙක් පත් කිරීමට මුදල් වියදම් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඒ මහතා පවසයි.

අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News