අපිට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදුවුනා

Share

ජනතාවට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට ගත වූ වසර කිහිපය තුළ ආණ්ඩුව පියවර ගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එහි ප්‍රතිඵල ඉදිරි වසර කිහිපය තුළ ලබාගැනීමට හැකි වනු ඇති බව පැවසීය.

වත්මන් ආණ්ඩුව 2015 සිට මේ දක්වා විවිධ අභියෝගවලට මුහුණදෙමින් නවීන ආර්ථිකයක් හා ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා කැපවූ බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 5533 ක් වැය කරමින් නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඉදිකරන ලද  “නිල මැඳුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (25) දින එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“2015 වසරේ බලයට පත්වීමත් සමඟ බස්නාහිර පළාත තුල මහා නගර ඇතිකිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්ව තිබුණා.

බස්නාහිර පළාත තුල පිහිටි නගර සියල්ල නවීකරණය කර සංවර්ධනය කිරිම අපේ අවශ්‍යතාව වුණා. එම සියලූ මහනගර වල කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හැටියට අද විවෘත කළ මෙම නිල මැඳුර සංකීර්ණය හදුන්වන්න පුවවන්.

අභියෝග රාශියකට මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකිවුණා.

පසුගිය වසර හතරක කාලය තුල රට ස්ථාවර කිරීමට අප පියවර ගත් නිසා අනාගතය දෙස බලමින් රට නවීකරණය කිරීමේ කාලය දැන් එළඹි තිබෙනවා.

රජය තුලත් පෞද්ගලික අංශය තුලත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රයක් බවට පත්කිරීම අපගේ තවත් ඉලක්කයක් වි තිබෙනවා.

එහි එක් පියවරක් වශයෙන් අක්කර 600ක් වන කොළඹ වරාය නගරය භූමිය පාර්ලිමේන්තුව තුල යෝජනා සම්මතයකින් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් ස්වෛරීය භූමියක් බවට පත්කිරීමට අප පියවර ගත්තා.

ශ්‍රී ලංකාව අපනයන ‍කේන්ද්‍රයක් බවට පත්කිරීම වෙනුවෙන් වරාය නගරය මුල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමත්, ඩුබායි හා සිංගප්පුරුවේ සිදුවන ආකාරයට රටවල් දෙකක් අතර වරාය නගරය තුල සිදුවන ගණුදෙණු සඳහා බදු සහන ලබාදීමටත් අප පියවර ගන්නවා.”

2015 ජනවාරි වත්මන් පාලනය විසින් මේ රට භාර ගන්නා අවස්ථාව වන විට රාජ්‍ය පරිපාලනය හා රාජ්‍ය සේවය දැඩි පිරිහීමකට ලක්ව තිබූ බව මෙහිදී පෙන්වා දුන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ඒ සියලූ ගැටලූ නිරාකරණය කර ගනිමින් කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ හැකි රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වී තිබෙන බව ද පැවසීය.

දිස්ත්‍රික් පරිපාලනය හා ප්‍රාදේශීය පරිපාලනය විධිමත්ව ඉදිරියට ගෙන යාමට නම් මහජන සේවය ඉටු කරන සේවක සේවිකාවන්ට පහසුකම් සලසා දිය යුතු බවත්, ඒ අනුව රටේ සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩ පහසුකම් සලසා දෙමින් නිල සෙවන කාර්යාල 14222 ක් අලූතෙන් ඉදිකිරීමට වත්මන් රජය පියවර ගත් බවත් පැවසීය.

Read more

Local News