ගැසට් නිවේදනයට විරුද්ධව ගුරුවරුන්ට ස්ථාන මාරු

Share

උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගත් සංවර්ධන සහකාර, සැලසුම්/මූල්‍ය සහකාර හා සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු, ජාතික පාසල්, ගුරු විදුහල් හා විද්‍යාපීඨවල සේවය කළ නිලධාරීන්  2018.05.25 දිනැති අංක 2073 දරණ ගැසට් පත‍්‍රයට අනුව දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 2-11 ශ්‍රේණියට පාසල් පාදකව බඳවා ගන්නා ලදී.

උක්ත බඳවා ගැනීමේ ගැසට් නිවේදනයේ, 2.4 වගන්තිය අනුව මෙම පිරිස පාසල් පාදක ක‍්‍රමය පදනම් කරගෙන බඳවා ගැනීම් සිදු කරනු ලැබූ අතර, ඔවුන් බඳවා ගනු ලබන පාසලේ වසර 8 ක් සේවය කරන තුරු කිසිදු ස්ථාන මාරුවක් ලබා දෙනු නොලැබේ යනුවෙන් අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අදාළ ගැසට් නිවේදනය සමඟ පුරප්පාඩු පවතින පාසල් ලේඛනය ද ප‍්‍රසිද්ධ කරන ලද අතර, අයඳුම්කරුවන් තමන් සේවය කිරීමට කැමති පාසල් පමණක් ඉල්ලූම් කළ යුතු විය.

එවැනි කොන්දේසි යටතේ පාසල් පාදකව බඳවා ගන්නා ලද මෙම ගුරුවරු ගණනාවක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉහත ගැසට් නිවේදනයේ මූලික කොන්දේසි උල්ලංඝණය කරමින් අනීතික ලෙස විවිධ දේශපාලන උවමනා මත ස්ථාන මාරු කර ඇත.

මේ ආකාරයට පාසල් පාදක ක‍්‍රමයට මෙම ගුරුවරු බඳවා ගනු ලැබුවේ අඩු ඉල්ලූමක් සහිත වඩා ජනපි‍්‍රය නොවන ජාතික පාසල්වල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙසය.

එසේ තිබියදී බඳවා ගැනීමේ මූලික කොන්දේසි උල්ලංඝණය කරමින් ගැසට් නිවේදනයට ද පරිබාහිර ලෙස එම ගුරුවරු පහසු හා ජනපි‍්‍රය පාසල් වෙත විවිධ දේශපාලන උවමනා මත ස්ථාන මාරු කිරීමෙන් එම පාසල්වල දරුවන්ට බරපතල අසාධාරණයක් සිදු වේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය මෙම ස්ථාන මාරු වහා අවලංගු කර බඳවාගැනීමේ ගැසට් නිවේදනයට අනුව අදාළ ගුරුවරු ඔවුන් පත්වීම් ලද පාසල්වල සේවය කිරීමට යොදවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

Read more

Local News