චෛත්‍ය හාරා නිධන් සෙවූ 2ක් අත්අඩංගුවට – සුනඛයන් 7කට වසත් දීලා

Share

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති බුත්තල සත්පෝරුව ‍රාජ මහා විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍ය හාරා නිධන් සෙවූ පුද්ගලයන් දෙදෙනකු දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් මෙම විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය දෝනාවක් ආකාරයෙන් සූක්ෂම ලෙස හාරා නිධන් සොයා තිබේ.

ඔවුන් චෛත්‍ය තුළ අඩි ගණනක් මෙම දෝනාව හාරා පසුව ඉතා සූක්ෂම ලෙස ලෑලි අතුරා වසා දමා ඇත.

මේ පිළිබඳව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇති වූ සැකයක් මත පොලීසියට පැමිණිලි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම චෛත්‍ය විනාශ කිරීමට පෙර අසළ නිවසක සුනඛයන් හත් දෙනෙකුට ද වස ලබා දී මරා දමා තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත් වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සත්පෝරුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය පවසා ඇත.

ඔවුන් වයස අවුරුදු 34 සහ 36 යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් විමර්ශන සඳහා බුත්තල පොලීසිය වෙත බාර දී තිබේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර බුත්තල පොලීසිය සහ දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය ඉදිරි විමර්ශන සිදු කරයි.

මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු සමයේ ඉදිකළ ඉපැරැණි විහාරස්ථානයක් වන අතර ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ වාසය කරන ඉපැරැණි විහාරස්ථානයක් බව ප්‍රදේශයේ ජනතාව පවසා තිබේ.

Read more

Local News