මහින්දානන්දට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා භාර දෙයි

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද(26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (අංක-2) හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණි.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියෝග නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙසද නියම කළේය.

2014 වසරේ සැප්තැම්බර් මස 1 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර තිබේ.

Read more

Local News