ගෝඨාගේ නඩුව කල්යයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම තාවකාලික ලෙස අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුවේ සාක්ෂි විමසීම කල් දමන බවත් ඒ අනුව නඩුව අගෝස්තු මස 30 වැනිදා යළි කැඳවන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(26) සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙන්ම විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුවේ නියෝගයක් අභියෝගයට ලක් කරමින් කළ විශේෂ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවේ සාක්ෂි විමසීම ඔක්තෝම්බර් මස පළ වනදා දක්වා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග තුළින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවීමක් සිදුකොට නොමැති අතර සාක්ෂි විමසීම ආරම්භ කිරීම පමණක් නවත්වා ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී සිටියේය.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා තවදුරටත් අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 07 ක් එල්ල කර තිබුණත් එම චෝදනා සංඛ්‍යාව 06 ක් දක්වා සංශෝධනය කිරීමට නීතිපතිවරයා යෝජනා කරන බව දන්වා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් එම විශේෂ අභියාචනා පෙත්සමක් ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවයට අනුව එම සංශෝධනය සිදු කිරීමට කටයුතු කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව නඩුව නැවත අගෝස්තු මස 30 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම සංශෝධන සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස ද විත්තියේ නීතිඥවරුන්ට නියම කළේය.

හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ව තිබූ රුපියල් මිලියන  33.9 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ආධාර අනුබල දීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනතේ  5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 388 යන වගන්තිය යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස , සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා සේනාධීර යන අය ද නම් කර තිබේ.

Read more

Local News