ජනාධිපති නීතිඥයින් පත් කිරීමට එරෙහිව පෙත්සමක් – සලකා බැලීම 31 දා

Share

නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපති, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, එහි ලේකම්, ජනාධිපති ලේකම්වරයා නම් කර ඇත.

එම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී. දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබේ.

එහිදී පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තමන්ට කල්ලබා දෙන්නැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා ඉල්ලා ඇති බව සඳහන්ය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 31 වනදා දක්වා කල් තබන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.

පසුගිය 2017, 2018 සහ 2019 වසර වලදී ජනාධිපති නීතඟඥවරුන් 75 දෙනෙකු පත් කර ඇති අතර ඔවුන් පත් කිරීමේදී පිළිගත් නිර්නායකයන් අනුගමනය කර නොමැති බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

සාමාන්‍යයෙන් එම ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී වසර 25 ක වෘත්තීය සේවා කාලය පැවතීම, නීතීඥ ක්ෂේත‍්‍රයට ඉටුකළ සේවය සලකා බැලීම සිදුවන බවද පෙත්සම්කරු කියා සිටියේය.

එහෙත් පසුගිය කාලය පුරා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිසි ක‍්‍රමවේදයකට අනුව සිදුවී නොමැති බවයි පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News