බුදුහාමුදුරුවෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කළා

Share

විනය ගරුක යහපත් සමාජයක් ඇති කරන්න ජාතික සමගිය අවශ්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

බුදුහාමුදුරුවෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කළ බවත් ජාතිවාදය නිසා ගිනි තියාගැනීමට හෝ මරාගැනීමට අවශ්‍ය නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අභිනව සංඝ නායක පදවි පිරිනැමීම නිමිත්තෙන් බළපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරස්ථානයේ ශ්‍රී ධීරානන්ද මහා මංගල සීමා මාලකයේ දී ඊයේ (27)  පැවති ආගමික උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

ලෝකයේ බෞද්ධ දර්ශනයට සඳහා වැඩි නැඹුරුවක් තිබෙන බවත් බෞද්ධ දර්ශනය පිටතට ගෙන යාම සඳහා මහා සංඝ රත්නය ජාත්‍යන්තර භාෂාවන් ඉගෙන ගත යුතුයැයි කථානායක කරු ජයසූරිය මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

ලෝකයේ සිටින මිලියන හත්දහස් පන්සියයක ජනතාව දහම් පිපාසාවෙන් පෙලෙන සත්‍ය අවබෝධ කරගැනීමේ වුවමනාව ඇති අය බැවින් ඉංග්‍රීසි, ජර්මන්, චීන ආදී භාෂාවන් ඉගෙන ගෙන ථේරවාදී බෞද්ධ දර්ශනය පිටරට වලට ගෙන යන ලෙසද කතානායකවරයා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

සද්ධම්මවංශ මහ නිකායේ මහනායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී තව දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා.,

“සද්ධම්මවංස මහා නිකායේ විහාරස්ථාන පන්සියයකට වැඩිය තිබෙනවා. භික්ෂූන් වහන්සේලා පන්දහසකට වැඩියි. ඔවුන් අතර කීර්තිමත් උගත් මහා සංඝරත්නයක් ඉන්නවා. ශාසනයට සමාජයට කරන සේවාව විශාලයි.

පන්සලකට ඇතුල් වෙන විටම සිත පහන් වෙනවා. විශේෂයෙන් බළපිටිය ප්‍රදේශයට ආවම සිරිල් ද සොයිසා මහතා මතක් වෙනවා. ඉතිහාසය බලනවිට  ශ්‍රීමත් ලලිත රාජපක්ෂ, සී පී ද සිල්වා, කොල්වින් ආර් ද සිල්වා, ප්‍රැන්සිස් ද සොයිසා, වෛද්‍ය ඊ ඇම් විජේරාම, අමරසේකර පවුල හා පුද්ගලයෝ බිහිවුණා.

අජිත ද සොයිසා මහතා කරන සේවාව අගය කළ යුතුයි. කඵතර බෝධි ආරක්ෂක මණ්ඩලයෙන් අති විශාල සේවාවක් කර තිබෙනවා. සුනාමි වෙලාවෙදී ඉඩම් දීල ගෙවල් පවා හදල දුන්නා.

බුද්ධාගම තමයි, ලෝකයේ විද්‍යාත්මක දර්ශනය තිබෙන ආගම. ලෝකයේ හිටපු විද්වතුන් බුද්ධාගම ගැන කියල තිබෙනවා. ලංකාවට ආදරය කරපු ආතර් සී ක්ලාක් මහතා කිව්වා මිනිස්සු හඳට යනවා කියල කවුරුත් විශ්වාස කළේ නැහැ, දැන් අඟහරු ලොවට යන ක්‍රියාදාමයකට යොමු වෙලා කියල. අවුරුදු කිහිපයක් ඇවෑමෙන් ලෝකයා බෞද්ධ දර්ශනය දිහා බලනවා කිව්වා.

ලෝකයේ මිලියන හත්දහස් පන්සියයක් පමණ ජනතාවක් ඉන්නවා. වැඩි දෙනා දහම් පිපාසාවෙන් ඉන්නේ. ලෝකයේ රටවල විද්වතුන් බුද්ධාගම හදාරනවා. භාවනාව විශ්ව විද්‍යාල වල ප්‍රධාන අංගයක් වෙලා.

ලෝකයේ ධන කුවේරවරු විශ්ව විද්‍යාල වලට ගිහින් භාවනා කරනවා. පුංචි ශ්‍රී ලංකාව ථේරවාදී බුදුදහම ආරක්ෂා කළා. චීවරය තුළ විශාල බලයක් තිබෙන නිසයි අපි පස්සෙන් යන්නේ.

විනය ගරුක යහ සමාජයක් ඇති කරන්න ජාතික සමගිය අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කළා. ජාතිවාදය නිසා ගිනි තියාගන්න මරාගන්න අවශ්‍ය නැහැ.

ලෝකයේ බෞද්ධ දර්ශනයට ඉල්ලුමක් තිබෙනවා. බෞද්ධ දර්ශනය පිට රටට ගෙන යන්න මහා සංඝ රත්නය ජාත්‍යන්තර භාෂාවන් ඉගෙන ගත යුතුයි. ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පවා භාවනා කරනවා. හොලිවුඞ් නඵ නිළියොත් භාවනා කරනවා”

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ලේඛකාධිකාරී බළපිටියේ සිරි සීවලී හිමියන්ද මෙහිදී කතා කළ අතර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read more

Local News