රංජන්ගේ නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම හෙට

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම හෙට(30) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අද(29) දින ආරම්භ වීමට නියමිතව තිබුණි.

එම විභාගය සිදුකරන විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන මහතුන් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ල සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් අද දින එම විභාගයට සහභාගි වීම මත රංජන් රාමනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම හෙට දින දක්වා කල් තැබීමට විජිත් මළල්ගොඩ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර ඇතැයි පැමිණිලිකරුවන් ප්‍රකාශ කළේය.

ඒ තුළින් අමාත්‍යවරයා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරන පැමිණිලිකරුවන් ඒ තුළින් අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව කියා සිටියේය.

එහෙයින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ

Read more

Local News