ජාතික පාසල් ගුරුවරුන්ට අකිලගෙන් වාසියක්

Share

ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ, සියලු ගුරුවරුන්ට තමා සේවය කරන පාසලට ම තම දරුවන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සලසා දී තිබේ.

ඒ අනුව සේවා කාලය වසර තුන සම්පූර්ණ කර ඇති ජාතික පාසල් ගුරුවරුන් වෙත දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ලබාදීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී  සිදුකෙරිණි.

ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා සිසුහිතකාමී අයුරින් පවත්වාගෙන යාමට නම් ගුරුවරුන්ට යහපත් මානසිකත්වයකින් තම සේවා දායකත්වය ලබාදිය හැකිවිය යුතු බවත්, තමන් සේවය කරන පාසලට තම දරුවන් ද ඇතුළත් කරගැනීමට ගුරුවරුන් වෙත අවකාශ සලසාදුන් විට බොහෝ ගැටළු අවම කරගත හැකි බවත්, සමස්ත පාසල් දරුවන්ට වඩාත් හිතකර, හා ඵලදායී මෙහෙවරක් ලබාදීමට මෙම තීරණය හේතු වනු ඇති බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දිවයිනේ ජාතික පාසල් 361ක ගුරුවරුන් 153 දෙනෙකු මේ යටතේ අදාළ සුදුසුකම් සපුරා තිබූ අතර, ඒ අනුව, ඔවුන්ගේ දරුවන් 162 දෙනෙකුට පාසල් සඳහා අනුමත ලිපි ලබාදීම අද සිදුකෙරිණි.

උතුරු පළාතේ ජාතික පාසල් ගුරුවරුන් ‍මේ සඳහා අයදුම් කර නොතිබූ අතර සෙසු සියලු පළාත්වල සුදුසුකම් සපුරන ලද ජාතික පාසල් ගුරුවරුන් මේ සඳහා අයදුම් කර තිබුණි.

සුදුසුකම් සපුරන ගුරුවරයා සිටින පාසල බාලක හෝ බාලිකා වන අවස්ථාවල දී තම දරුවා ඒ හේතුව නිසා ඇතුළත් කරගැනීමට ගැටළුවක් වන විට දැනට දරුවා ජාතික පාසලකට ඇතුළත් ව නොමැතිනම් පමණක් අදාළ ගුරුවරයා සේවය කරන පාසලට ආසන්නයේ ම ඇති ජාතික පාසලට ඇතුළත් වීමේ අවස්ථාව සලසාදීමට ද මේ යටතේ පහසුකම් සලසා දී තිබේ.

2016 වසරේ සිට මේ ආකාරයට පොදු පදනමකින් ගුරුවරුන්ගේ දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

එමෙන් ම 1,5,6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර විනිවිදභාවයකින් යුතුව දරුවන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වසරේ සිට කටයුතු කරන ලදී.

එමෙන් ම රජයේ ළමා නිවාසවල සිටින මවුපියන් අහිමි දරුවන්ට ද ඔවුන්ගේ ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් ළඟම ජාතික පාසල අයදුම්කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වනවිට අවස්ථාව සලසා දී තිබේ.

Read more

Local News