රටක් වශයෙන් ඉදිරියට යාමට නම් මානව සම්පත දියුණු කළ යුතුයි

Share

රටක් වශයෙන් ඉදිරියට යාමට නම් මානව සම්පත දියුණු කළ යුතු බවත්, රටේ ජනතාව වශයෙන් එකිනෙකා සිතන ආකාරය අලුත් වුවහොත් සාමුහික ව දුර ගමනක් යා හැකි බවත්, ඒ තුළින් අනාගතයේ දී මානව ප්‍රාග්ධනයෙන් හොඳම රටක් බවට පත්වන්නට හැකියාව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ලෝකයේ නව තාක්ෂණ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ දරුවන් වෙත හඳුන්වාදෙමින් ක්‍රියාවට නංවන ලද රොබෝ තාක්ෂණය පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු අදියරට තෝරාගත් පාසල් 87ක් වෙත අදාළ රොබෝ උපකරණ කට්ටල බෙදාදීම සඳහා අද(29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

නුපුහුණු ශ්‍රමිකයින් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් හරහා විදේශ විනිමය සෙවීමට ඉදිරියේ දී සූදානම් විය යුතු බවත්, කියුබාව ලෝකයට ම වෛද්‍යවරුන් සපයන බවත්, බැංගලෝර්වල සිටින තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුලු ලොවට ම සිය සේවාව සපයන බවත්, පිලිපීනය නැවියන්, හෙදියන් පිටරටවලට සපයන බවත්, අපට ඇති වටිනාම සම්පත ද මානව සම්පත වන හෙයින් එය නිසියාකාරව සංවර්ධනය කිරීමට අධ්‍යාපනය යොදාගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

මෑතකාලීන ව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල වැඩකොටසක් ඉටු කිරීමට හැකි වූ බවත්, භෞතික සම්පත් සංවර්ධනයට මෙන්ම මානව සම්පත් සංවර්ධනයට ඒ තුළ විශේෂ අවධානය යොමුකරන ලද බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

තවත් නොබෝ දිනකින් පාසලට ඩිජිටල් ගුරුවරයෙක් ලබාදෙන බව ද, එනම්, සියලු උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබාදෙමින් ඉගෙනුම් ක්‍රියාවලියට තාක්ෂණය සෘජුව සහාය කරගැනීමට අවස්ථාව සලසා දෙන බව ද, සාමාන්‍ය පෙළ අසමත් සියලු දරුවන්ට අනාගතයක් ඇතිකරමින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබාදුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

රොබෝ තාක්ෂණය පාසල් වෙත හඳුන්වා දෙමින් අනාගත වැඩ ලෝකය හා බද්ධ විය හැකි වෘත්තීය නිපුනතාවන්ගෙන් පිරුණු සිසුපරපුරක් නිර්මාණය කිරීම සහස්‍ර සංවර්ධන අරමුණු අතර පවතින ප්‍රධාන අරමුණකි.

රොබෝ තාක්ෂණය හඳුන්වාදීමේ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ තෝරාගත් පාසල් 87කට රොබෝ තාක්ෂණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුහුණුවීමට අවශ්‍ය උපකරණ කට්ටල අද දින ලබාදුන් අතර, 2020 වසර වනවිට දිවයිනේ සියලු ම පාසල් තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත යි.

එමෙන් ම නව තාක්ෂණ ප්‍රවණතා පිළිබඳ පාසල් දරුවන් අතර දැනුම ප්‍රචලිත කරවන්නට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සමස්ත ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියක් ද සංවිධානය කර තිබේ.

මීට අමතර ව, උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකරන විභාග මධ්‍යස්ථාන සඳහා අතිරේක උපකරණ කට්ටල බෙදාහැරීමේ ප්‍රසම්පාදන කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති අතර,  2019 වසරේ දී මෙම උපකරණ අදාළ විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට ද මේ වනවිට සියලු කටයුතු සූදානම්ව පවතී. අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙනුවෙන් රුපියල් මිලියන 419ක් වැය කර ඇත.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති OFID ව්‍යාපෘතිය යටතේ ඉදිරියේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට ම දෙකක් බැගින් වන සේ තාක්ෂණ පීඨ 50ක් ඉදිකිරීම ට පියවර ගැනේ.

එමෙන් ම විෂය උපකරණ, ලීබඩු ඇතුළු අනෙකුත් සම්පත් සංවර්ධනයට පියවර රැසක් ක්‍රියාවට නංවනු ලැබේ.

ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණය පාසල් සඳහා හඳුන්වා දීම වෙනුවෙන් ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් කර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය රෝහණ තිලකුමාර මහතා විසින් කෘතියක් ද සම්පාදනය කර ඇති අතර එම පොත  අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුකෙරිණි.

Read more

Local News