ආනයනික කසල බහාලුම් රට මැදට ගෙනයාම තහනම් කරන නියෝගය හෙට

Share

විදේශවල සිට ආනයනය කර කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළඳ කලාප අංගනවල රඳවා තිබෙන කැලිකසල අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය හෙට(30) දින ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකාවට විදේශවල සිට කැළිකසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවා.
මෙම කරුණට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගයද හෙට දින ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනේ විදේශවල සිට ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහලුම් සිය ගණනක් කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළඳ කලාප අංගනවල රඳවා තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.
එම බහාලුම් තුළ මහජන සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය රැසක් තිබෙන බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒවා දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල ප්‍රවාහනය කරනු ලැබූවොත් දැඩි අනතුරක් සිදුවිය හැකි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.
එබැවින් අදාල බහලුම් දැනට පවතින ස්ථාන වලින් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම තහනම් කිරීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම අතුරු ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය නියම කළේ.

Read more

Local News