නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් ආරාධනා

Share

වත්මන් ආණ්ඩුව බිඳ හෙලීමේ වැඩ පිළිවෙළට එක්වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටියි.

අගෝස්තු 11වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශ්වාසය පළ කළේය.

මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ අද (30) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වර්තමානය වන විට බිම් මට්ටමේ ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වී ඇති බව නොරහසක් බවද මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වලින් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද ප්‍රතිපත්ති වී තිබේ.

එහි ප්‍රමුඛ ප්‍රතිපත්තිය වන්නේ එක්සත් ජාතික පක්ෂ විරුද්ධ බලවේගයක් බිහි කිරීමයි.

එම පරමාර්ථය මූලික කරගෙන බිහිවන වාමාංශික බලවේගයට එක්වන්නැයි ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටීයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධය හමුවේ ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් නැවත දිවුරුම්දීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක මහතා සඳහන් කළේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවට සැලකීම වෙනුවට මුස්ලිම් අමාත්‍යවරුන්ට වරදාන වරප්‍රසාද ලබා දෙමින් සිටින බවයි.

රටේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් ආර්ථීකය ගොඩනැංවීම උදෙසා ආරක්ෂාව තහවුරුකරමින් යන ගමනකට නායකත්වය  දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලූ සුදුසුකම් සපුරා ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

Read more

Local News