පොලිස්පතිගේ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 17 දාට කල්යයි

Share

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨොධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (31) එල්. ටී .බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ඇත.

මෙහිදී විනිසුරුවරු සඳහන් කර සිටියේ මෙම පෙත්සම සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු හෙයින් මෙම පෙත්සම පිළිබඳ සලකා බැලීම සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තබන බවයි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2016 වසරේ අප්‍රේල් මස විසි වනදා තමන්ව පොලිස්පතිවරයා වශයෙන් පත් කළ බවයි.

2018 වසරේ පටන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති අන්තර් සබඳතාවයේ යම් පළුදු වීමක් තමා නිරීක්ෂණය කළ බවත් තමා එම පාර්ශව දෙකටම පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව රජයේ නිලධාරියෙකු ලෙස තම රාජකාරිය ඉටුකළ බවද ජයසුන්දර මහතා විසින් පවසා ඇත.

2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයක් පරිදි තමන්ව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම සඳහා කැඳවීමක් නොකෙරුණු බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරු ලැබුණු අවස්ථාවල තමන් ඒ පිළිබඳව එවක ආරක්ෂක ලේකම්වරයාට සහ තමා යටතේ සිටින ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති වරු සිව් දෙනා දැනුවත් කළ බව ද පවසා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඔහුගේ බුද්ධි වාර්තා සෘජුවම ජනාධිපතිවරයා වෙත යොමු කිරිම සිදු කළ බවත් ඔහු තමන්ට කරුණු වාර්තා කිරීමක් නොකරන බවත් පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත.

පාස්කූ දින ප්‍රහාරයෙන් පසුව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපති වරයා ක්‍රියා කළ බවත් එසේ තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති වරයාට කිසිදු නීතිමය බලයක් නොමැති බවද පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේය.

තම විනය බලධාරියා ජනාධිපතිවරයා නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමට අදාළ පනත් විධිවිධාන ප්‍රකාරව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවයි පූජිත් ජයසුන්දර මහතා චෝදනා කරයි.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටින පූජිත් ජයසුන්දර මහතා මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක්  තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපති වරයා ගත් තීරණය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම තමන්ව ධුරයෙන් ඉවත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News