බැසිල් ගොනුකළ පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 27 දා ප්‍රකාශයට

Share

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හල බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කිරීම තහනම් කර එම නඩුව වෙනත් විනිසුරුවරයෙකු හමුවට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගොනුකළ පෙත්සම පිළිබඳ තීන්දුව සැප්තැම්බර් මස 27 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

මෙම පෙත්සම් පිළිබඳ විභාගය අද(31) ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැත්වුණි.

පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ගේ කරුණු සටහන් කර ගත් අභියාචනාධිකරණය එහි තීන්දුව සැප්තැම්බර් මස 27 වැනිදා ප්‍රකාශයට පත් කළ බව නිවේදනය කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කරන බවද විනිසුරුමඩුල්ල පැවසීය.

පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා අභියාචනධිකරණය හමුවේ කියා සිටින්නේ සිල් රෙදි පිළිබඳ නඩු තීන්දුව ලබා දීමේදී විනිසුරු ගිහාන් කුලතුංග මහතා පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති බවයි.

තමා ද පසුගිය රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දැරූ අයෙකු බැවින් තම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගතහොත් තමන්ට අගතියක් සිදුව හැකි බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් තම නඩුවේ විභාගය විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News