කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

අද (15)  අලුයම පෙරවරු 6.00 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 7 දක්වාත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 20 දක්වා ඉහළ ගොස් ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය.

පසුගිය මාස කිහිපය තුල එම ජල පෝෂක ප්‍රදේශවලට පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලාශ දෙකේම ජල මට්ටම 20% දක්වා පහල වැටී ඇත.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමසුරෙන්ද්‍ර යන විදුලි බලාගාර වල විදුලි උත්පාදන ධාරිතාව වැඩි කර ඇති  බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසයි.

මේ අතර පසුගිය දින කිහිපය තුල මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නල්ලතන්නිය මොහිණි ඇල්ලේ සහ ගාඩ්මොර් ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටිමෙන් ස්ථාන කිහිපයකම රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති අතර ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ආරම්භ කර තිබේ.

Read more

Local News