පෙළ පොත්, නිල ඇදුම් ඇතුළු සමස්ත ක්‍රියාවලිය නව තාක්ෂණය සමඟ නවීකරණයට

නුදුරේ දීම අධ්‍යාපන පද්ධතිය තුළ පෙළ පොත්, නිල ඇඳුම්, ගුරු මාරු ඇතුළු සමස්ත ක්‍රියාවලිය දත්ත පාදකයක් (Data Base) ඇසුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙන බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ නිසා මෙතෙක් එම ක්‍රියාවලීන් තුළ පැවති බොහෝ ගැටළු විස‍ඳෙනු ඇති බවත්, වඩාත් කාර්යක්ෂම ව, නිවැරදි ව හා පහසුවෙන් ඉදිරියේ දී මෙම කටයුතු සිදුකිරීමට ඒ අනුව, හැකිවනු ඇති බවත් පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල, දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඊයේ (18) පැවති ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

රජයක් වශයෙන් සංදර්ශන පවත්වනවාට වඩා රටේ පාසල් පද්ධතියෙන් අනාගත ලෝකයට ගැළපෙන දරුවන් බිහිකිරීම වෙනුවෙන් අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

අධ්‍යාපනයට විෂය භාර අමාත්‍යවරයෙක්, ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සහ ගුරුවරුන් සිටිනුයේ පවත්නා තත්ත්වය ඒ අයුරින් පවත්වාගෙන යාමට නොවන බවත්, පැහැදිලි අනාගත දැක්මක් සහ අරමුණක් සහිත ව දරුවන් නව ලොවට රැගෙන යාම වෙනුවෙන් නිර්මාණශීලී ව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

එමෙන් ම, සිසු දරුවන්ට අනාගත වැඩ ලොව ජය ගත හැකි අයුරින් පාසල් විෂය මාලාව යාවත්කාලීන කිරීමට හා නවීකරණයට පියවර ගෙන ඇති බවත්, සම්පූර්ණයෙන් ම විෂය නිර්දේශය ඇසුරින් පෙළ පොත් සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම මේ වනවිට සිදුකෙරෙන බැවින් අතීතයේ මෙන් විභාග ගැටළු බහුලව අසන්නට නොලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.