Tuesday, March 19, 2024.

සරම උස්සන් කෑ ගැහුවට මම නියෝජිතයා කියලා අපි පිළිගන්නේ නෑ

Share

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය විසින් රට ගැන සිතා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද(19) ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පක්ෂයේ නායකයෙක් සිටින බවත්, ප්‍රතිපත්තියක් ඇති බවත් පැවසු ෆොන්සේකා මහතා නිසැකයෙන්ම ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කරන බවද පැවසීය.

ඇතැමුන් “සරම උස්සන් කෑ ගැහුවට මම නියෝජිතයා කියලා අපි පිළිගන්නේ නෑ“ යනුවෙන්ද පැවසු ෆොන්සේකා මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කරන්න සුදුස්සෙක් යැයි තමා එදා හෝ අද නොසිතන බවද පැවසීය.

නමුත් එක්සත් ජාතික පක්ෂය විසින් පොල්පිත්තක් දැමුවොත් හෝ රැහැයියෙක් වගේ කටින් ගහන පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කලොත් නිසැකයෙන්ම පරාජය ලබන බවද මෙහිදී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

එජාපයෙන් ගැළපෙන්නේ නැති පුද්ගලයෙක් ඉදිරිපත් කලහොත් නිසැකයෙන්ම අනෙක් පැත්තෙන් ඉදිරිපත් කරන පුද්ගලයාට දිනුම හිමි වන බවත් පැවසු ෆොන්සේකා මහතා, සියලු දේ තීරණය කරන්නේ ජනතාව විසින් බවද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාව පක්ෂය විසින් තෝරා පත් කර ඇති බවත් ඔහුට පාක්ෂිකයන්ගේ කැමැත්ත හිමි වී ඇතැයි ද පැවසු ෆොන්සේකා මහතා, රටේ ඇති පාවෙන ඡන්ද නිසැකයෙන්ම ජයග්‍රාහකයා තීරණය කරනු ඇතැයි ද කියා සිටියේය.

“කටින් විතරක් බතල හිටවන පුද්ගලයෙක්“ දැම්මොත් එක්සත් ජාතික පක්ෂයට නිසැකයෙන්ම පරාජය වීමට සිදුවන බවද ෆොන්සේකා මහතා පැවසීය.

Read more

Local News