නව සන්ධානය ගැන අකිල කියන දේ

දේශපාලන පක්ෂ හා ප්‍රගතිශිලි සංවිධාන රැසක් එක්කර ගනිමින් ඉතා කෙටි කලක් තුල නව සන්ධානය පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යරයා මේ පැවසුවේ ඊයේ (19) පැවති රැස්වීමක අමතමින්.

එම සන්ධානය සමඟ සන්ධාන ගතවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරීන් විශාල පිරිසක් බලාසිටින බව ද ඒ මහතා පැවසීය.

ගතවූ  වසර හතර තුල රටේ සෑම ප්‍රදේශයකම පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සිදුකිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් ඒ සංවර්ධනය තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියළු දෙනා එකමුතුව ක්‍රියාකොට ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයක් එක්සත් ජාතික පක්ෂය තුල තිබෙන බව පැවසූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරියේදී සියලූ දෙනා එක්ව සාකච්ඡා මාර්ගයෙන් එම අපේක්ෂකයා පත්කර ගන්නා බවට පැවසීය.

අතීතයේ ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් නව දේශපාලන ව්‍යාපාර ආරම්භ කළත් ඒ එකක්වත් සාර්ථක නොවූ බව සිහිපත් කරන නවින් දිසානායක මහතා ඒ සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වී ඉදිරියට පැමිණ ඇති බව පෙන්වා දුන්නේය.

අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂය තුල අර්බූද ඇතිකිරීමට ඇතැම් බලවේග උත්සාහ ගත් බවත් එවැනි උත්සාහයන් පරාජය කොට සියලූ දෙනා එකමුතුව ඉදිරියට යාම තුලින් එජාපයට ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බවත් පවසයි.