කසුන් පලිසේනට පනවා තිබු ඇප කොන්දේසි ලිහිල් කරන්න නියම කරයි

Share

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා වෙනුවෙන් පනවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(20) නියම කළේය.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරුට ඇප නියම කිරීමේදී සෑම ඉරුදිනකම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබූ බව ප්‍රකාශ කළේය.

එම කොන්දේසිය ලිහිල් කරන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සෑම ඉරු දිනම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරමින් සෑම මසකම අවසන් ඉරුදින පමණක් රහස් පොලිසිය පෙනී සිටීම ප්‍රමාණවත් බවට නියෝග කළේය.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සමාගමට අයත් තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගිණුමේ පවතින මුදල් නිත්‍ය ආයෝජන පහසුකම් තැන්පතු ගිණුමට ආයෝජනය කිරීම අත්හිටුවමින් මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහබැංකුවේ නිලධාරියා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේ ලිඛිතව කරුණු දක්වන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියාට නියෝග කළේය.

අනතුරුව පැමිණිල්ල ඔක්තෝම්බර් මස 28 වනදා කැඳවීමට නියම කෙරුණි.

Read more

Local News