රාජ්‍ය දේපල හා නිලධාරීන් දේශපාලනයට ගන්න එපා – පැෆ්රල්

Share

නිල වශයෙන් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කර නැතත් මේ වන විට දේශපාලන පක්ෂ විසින් තම අපේක්ෂකයින් නම් කරමින් සිටින අතර සමහර කණ්ඩායම් දැනටමත් සිය ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

මැතිවරණ කාල සීමාවන් වලදී අත් දකින සුපුරුදු තත්ත්වයක් වනුයේ විවිධ සංවර්ධන වැඩසටහන් මුවාවෙන් සිය දේශපාලන අභිමථාර්තයන් මුදුන්පත් කර ගැනීම සඳහා සමහර දේශපාලකයින් විසින් රාජ්‍ය දේපල මෙන්ම නිලධාරීන්ද අවභාවිතාවේ යොදවන බවය.

මෙම තත්ත්වය පසුගිය කාලසීමාවන් තුලදී රාජ්‍ය බලය හොබවන ලද සියළු පාර්ශවයන් අඩු වැඩි වශයෙන් දක්නට ලැබුනු කණගාටුදායී ප‍්‍රවනතාවයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

දැනටමත් සංවර්ධන කටයුතු මුවාවෙන් සිදුකරනු ලබන අසීමිත ප‍්‍රචාරක කටයුතු හරහා දේශපාලන පක්ෂ හා අපේකෂකයන් තම ප‍්‍රවර්ධන කටයුතු කර ඇත.

ඉදිරි කාලයේදී මෙකී තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවද ඔවුන් පවසයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මුල් අවස්ථාවේදීම සුදුසු පියවර ගනු ලබන්නේ නම් මැතිවරණයක පැවතිය යුතු සුජාතභාවය ආරක්ෂා කිරීමටත් දේශපාලන බලපෑම් වලට නතු නොවී සිය රාජකාරි කටයුතු කරන්නට රාජ්‍යය නිලධාරීන්ට සුදුසු පරිසරයක් සකස් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද එම සංවිධානය රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ලිපියක් මගින් දන්වා ඇත.

නීතිමය සීමාවන් අභිබවමින් දේශපාලකයන් විසින් දෙනු ලබන වැරදි නියෝග ක‍්‍රියාත්මක කිරීමට යාම තුල අවසානයේ අපහසුතාවයට පත්වනු ලබන්නේ දේශපාලකයා නොව එකී නියෝග ක‍්‍රියාත්මක කල රාජ්‍ය නිලධාරීන් බව පසුගිය කාල සීමාවලදී සිදුවූ බොහෝ සිදුවීම් වලින් සාක්ෂි සපයයි.

රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කරන එවැනි කණගාටුදායී තත්වයන් වළක්වාලීමටත් මැතිවරණයක පැවැතිය යුතු සුජාතභාවය ආරක්ෂා කිරීමටත් මුල් අවස්ථාවේදීම මෙම තත්වය පාලනය කල යුතු හෙයින් ඔබ අමාත්‍යාංශය යටතේ කටයුතු කරන ආයතන ප‍්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවද එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ගාමිණී සෙනවිරත්න මහතාට ලිපියක් මගින් මේ බව දන්වා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

පළාත් පාලන ආයතනය සතු සම්පත් දේශපාලන ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගැනීම වළක්වාලීම සඳහා කටයුතු යොදන ලෙසයද එහිදි සඳහන් වේ.

Read more

Local News