ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරයි ?

Share

සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අප්‍රේල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කර ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සඳහන් නව ගමන් බලපත්‍රයක් මේවන විට තමන්ට නිකුත් කොට ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම අසන්නට ලැඛෙන බවත් අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමේ කිසිදු බාධාවක් තමන්ට නැතැයිද එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා,මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුලූ පළාත් පාලන ආයතන සභාපතිවරු එක්ව සිටියහ.

Read more

Local News