එජාපය දෙකඩ වෙනවා

Share

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ්‍ර්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වයටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයටත් නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද පැමිණියේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති හමුවකටයි.

සාමාන්‍යයෙන් පක්ෂ නායකත්වයට ගරු නොකරන පුද්ගලයෙක්ට තවදුරටත් එම පක්ෂ නායකත්වය යටතේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් නිර්මාණය වී ඇති බවයි.

ජනාධිපතිවරණ අපෙක්ෂකත්වයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ඉදිරිපත් කළද මේ ගැටුම තවතවත් උග්‍රවන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුලූ සියලූ දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් හ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා ජනතාව ගෙන ඇති තීන්දුවට කිසිදු බලපෑමක් සිදුනොවන බවද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුලූ පළාත් පාලන ආයතන සභාපතිවරු එක්ව සිටියහ.

Read more

Local News