පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ මත විමසීමට අදාළ විභාගය අවසන්

Share

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විභාගය පැවැත්වුණි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කළේය.

නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13ක් ඉදිරිපත් වී තිබෙන බවයි.

මැදිහත්වීමේ පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පළාත් සභා වල සීමා නිර්ණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද 139 කින් පරාජය කර ඇති බව කියා සිටියේය.

ඉන් අනතුරුව එම සීමා නිර්ණය වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා එම කමිටුව විසින් ඔවුන්ගේ වාර්තාවද මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ද ප්‍රකාශ කළේය.

මෙම වාතාවරණය මත පාර්ලිමේන්තු ක්‍රියාදාමය මගහැර නීතිය අභිබවා ගොස් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙය දැඩිව සැලකිල්ලට භාජනය කළ යුතු කරුණක් බවයි සිය දේශනය ඉදිරිපත් කරමින් කියා සිටියේය.

පෙත්සම්කාර සුනන්ද මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් සභා වල සීමා නිර්ණය කිරීමේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්පූර්ණ වී නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මෙම මත විමසීම සිදු කර ඇති බව සඳහන් කළේය.

පලාත් සභා වල සීමා නිර්ණය කිරීම හා මැතිවරණ පැවැත්වීම පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු කරුණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊට විධායකයට මැදිහත් වීමට හැකියාවක් නොමැති බවයි කියා සිටියේය.

එවැනි වාතාවරණයක් මත පාර්ලිමේන්තු ක්‍රියාදාමය මගහැර පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීම අගතිදායක තත්ත්වයක් බවත් ඒ හරහා බලය අවභාවිතයට ලක් කිරීමට ඉඩක් පවතින බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව තීරණය පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු කරුණක් බවත් ඊට අධිකරණය මැදිහත් විය නොහැකි බවත් කියා සිටියේය.

පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කටයුතු අඩාල කිරීමේ අරමුණින්ම රජය විසින් මෙම මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති බවට චෝදනා කර සිටියේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව මෙවැනි මත විමසීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව තර්ක කළේය.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන්නේ මැතිවරණ කොමිසමට බවත් ඊට ජනාධිපතිවරයාට මැදිහත් විය නොහැකි බවත් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඔහුගේ දේශනයෙන් සඳහන් කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව හමුවේ සිදුකෙරෙමින් පවතින සීමා නිර්ණය කටයුතුවලට අදාළව මෙම අවස්ථාවේදී ඉන් පිටත තීරණයක් ගැනීම අපහසු බව කියා සිටියේය.

මේ හේතුවෙන් මෙම මත විමසීමට පාදක වී තිබෙන කාරණය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ අධිකරණයට මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවයි නීතිඥවරයා සඳහන් කර සිටියේ.

පෙත්සමක් ඉදිරිපත් කරතිබූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා ද තම දේශනයෙන් කියා සිටියේ පලාත් සභා වල සීමා නිර්ණය කටයුතු සම්පූර්ණ කර නොමැති අවස්ථාවක ඊට අදාළ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ දසුන් නාගසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීමා නිර්ණය කටයුතු අවසන් වී නොතිබීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිනෙන් දිනම කල් යමින් තිබෙන බවත් මේ හරහා ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය දිනෙන් දිනම උල්ලංඝනය වෙමින් තිබෙන බවටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් පැරණි ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබෙන බවයි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ ජනාදිපතිවරයා විසින් යොමු කර ඇති මත මෙම මත විමසීමට අදාළව නීතිපතිවරයා විසින් සවිස්තර ලිඛිත දේශනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් ප්‍රකාශ කළේය.

2017 අංක 17 දරණ පළාත් සභා සංශෝධන පනත මේ වනවිට නීතියක් වශයෙන් බලාත්මක පවතින බව කියා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඒ යටතේ සීමා නිර්ණය කටයුතු සිදුවෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් පසුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් ලැබෙන බව ද රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා ගේ මත විමසීමට අදාළ විභාගය අවසන් කරමින් තම රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

Read more

Local News