ඇමසන් ගින්න පාලනයට සම්පත් නැති බව බ්‍රසීල ජනපති කියයි

Share

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනයේ පැතිරෙන ගින්න පාලනය කිරීමට අවශ්‍ය සම්පත් සිය රටට නොමැති බව බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සෝනරෝ පවසයි.

ඒ, ස්වභාව ධර්මයේ අපූර්ව නිමැවුමක් වන ඇමසන් වනාන්තරයේ විශාල භූමි ප්‍රමාණයක් දැවී අළු වී ඇති පසුබිමකදීයි.

ඇමසන් වනය ගිනිගැනීම, ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, එය ජී 7 සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය යුතු බව අවධාරණය කරමිනි.

වෘක්ෂලතා අතරින් නැගෙන ගිනි ජාලා සහිත ඡායාරූපයක් පළ කරමින්, අපේ නිවස ගිනි ගන්නවා යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා සංවේදී ටුවිටර් සටහනක් ද එක් කර තිබිණ.

ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් උත්පාදනය කරන එම වනාන්තරය ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරස් ද අවධාරණය කළේ ය.

පේරු, කොලොම්බියාව, වෙනිසුවෙලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනා සහ සුරිනාම් රාජ්‍යයන් පුරා පැතිරී ඇති ඇමසන් වනයෙන් 60% ක් අයත් වන්නේ බ්‍රසීලයටයි.

බ්‍රසීල ට්‍රම්ප් ලෙසින් හඳුන්වන වත්මන් ජනාධිපති ජයීර් බොල්සෝනරෝට ඇමසන් විනාශය පිළිබද සෘජු චෝදනා එල්ල වේ.

ඔහු බලයට පත්වීමෙන් පසු වනාන්තරය තුළ දැව ජාවාරම, රන් ආකර පවත්වාගෙන යාම වැනි විවිධ විනාශකාරී ක්‍රියා ආරම්භ වූයේ සංවර්ධනයට මුවාවෙමිනි.

ලෝකයේ පෙනහැල්ල බඳු ඇමසන් වනයෙන් හරි අඩක් හෝ ගවේෂණය කරන්නට මෙතෙක් ශිෂ්ට සම්මත ලෝකයට හැකි වී නොමැත.

විවිධ සත්ත්ව විශේෂ, නොදුටු වෘක්ෂලතා, ඇමසන් නදිය, කුරුලු කූජන වලින් සපිරි ලෝකයේ පෙනහැල්ල බඳු ඇමසන් වනයේ ගිනි ජාලා නිවා දැමීමට බලවතුන් කඩිනම් පියවර නොගතහොත්, ඒ ගින්නෙන් අනාගත ලෝකය දැවී යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි වනු ඇති.

Read more

Local News